August 27, 2026

ටිබෙට් සීමාවේ සිට භෝටේ කෝෂි ගංගාව ඔස්සේ නේපාලයේ රසූවා දිස්ත්‍රික්කයට හදිසියේ ඇතිවූ දැවැන්ත ගංවතුර තත්ත්වයත් සමඟ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

මෙම හදිසි ගංවතුර හේතුවෙන් තිමුරේ සහ සියබෲබේසි ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇති අතර, භෝටේ කෝෂි සහ ත්‍රිශූලී ගංගා නිම්න පහළ කොටස් කෙරෙහි ද අවදානම් තත්ත්වයක් මතුව තිබේ.

රසූවා, නුවාකොට්, ධාඩින්, ගෝර්කා සහ චිට්වාන් ඇතුළු ගංගා ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගංගා, ගං ඉවුරු, පාලම් සහ පහත් බිම් වෙත යාමෙන් වළකින ලෙසත්, ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ බලධාරීන් දෙන උපදෙස් තදින්ම පිළිපදින ලෙසත් ඉල්ලා සිටියි.

අනතුරට ලක්වූ ප්‍රදේශවල සංචාරය කිරීමට සැලසුම් කර සිටින පිරිස් වෙත දැනුම් දෙන්නේ ගංවතුර අවදානම පහව ගොස් මාර්ග ආරක්ෂිත බව තහවුරු වන තෙක් එම ගමන් කල්දමන ලෙසයි.

හදිසි උපකාර අවශ්‍ය වන නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට පැය 24 පුරා ක්‍රියාත්මක +977 9851048653 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ හෝ slemb.kathmandu@mfa.gov.lk විද්‍යුත් තැපෑල ඔස්සේ තානාපති කාර්යාලය සෘජුවම සම්බන්ධ කරගත හැක.