July 5, 2026

කොළඹ තියෙන ප්‍රමුඛ පෙළේ සුපිරි හෝටලයක පසුගිය බදාදා සන්ධ්‍යාවේ විශේෂ උත්සවයක් පැවැත්වුණා. ඒ වෙන මොකකටවත් නෙවෙයි, චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සමරන්නයි.

මේ සාදය සඳහා ලංකාවේ ඉන්න චීන තානාපති චී ජෙන්හොන්ග් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ නායකයන් හැමෝටම වගේ ආරාධනා කරලා තිබුණා. ඒ නිසාම දේශපාලන කරළියේ නොලියවුණු අමුතුම විදිහේ දේශපාලන හමුවීම් රැසක් එදා ඒ හෝටල් කාමරය ඇතුළේ දකින්න ලැබුණා. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, ජේවීපී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වගේම පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු ප්‍රබලයින් රැසක්ම මේ අවස්ථාවට එක්වෙලා හිටියා.

උත්සවයේ විශේෂාංගයක් විදිහට පොදුජන පෙරමුණ වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයට සුබපැතුම් එක්කරමින් කතාවක් කරන්න අවස්ථාව ලැබුණේ සාගර කාරියවසම්ටයි. එතැනදී සාගර වත්මන් ආණ්ඩුව ඉලක්ක කරගෙන හරි අපූරු ‘දේශපාලන ටෝක්’ එකක් දුන්නා කියලා දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරු විදිහට චීනය එකතු කරගෙන වැඩ කරපු හැටිත්, ඒකෙන් රටට ලැබුණු වාසිත් සාගර කාරියවසම් එතැනදී මතක් කරලාතියෙනවා . “එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයත් එක්ක එකතු වෙලා මේ රට ගොඩනගන්න හදද්දී, සමහර අය ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට දිගින් දිගටම දැඩි ලෙස දෝෂාරෝපණය කළා. හැබැයි එදා ඒ විවේචනය කරපු අයම අද පාලකයෝ වෙලා, ඒ සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳිමින්, එදා අපි ගිය ඒ පාරේම යන හැටි අද අපි හරිම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා,” කියලා සාගර කාරියවසම් වත්මන් ආණ්ඩුවට වක්‍ර ප්‍රහාරයක් එල්ල කළා.

මේ කතාව අහගෙන සභාගැබේ අසුන්ගෙන හිටපු පිරිස අතරේ රසවත් සිදුවීමක් වුණා. හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් ළඟින් අසුන්ගෙන හිටපු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, සාගර කාරියවසම්ගේ මේ කතාවට කොච්චර පැහැදුණාද කියනවා නම්, ඔහු ළඟ හිටපු මන්ත්‍රීවරයාට රහසින් මුමුණලා තියෙන්නේ “සාගර මරු නේ” කියලායි. වත්මන් ආණ්ඩුවට එල්ල කරපු ඒ සැර ප්‍රහාරයට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් මෙලෙස ප්‍රසිද්ධියේම මනාපය පළකිරීම එතන හිටපු අයට නම් හොඳ රස කතාවක් වුණාලු.