August 28, 2026

මහනුවර පෙරහර රාජකාරි සඳහා පැමිණි ඇත්ගොව්වෙකු පිහියක් ඇතැතිව සිටීම නිසා පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලට ලක්ව අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් නොවී යළි පිහිය සහ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා කතරගම දේවාලයේ බැඳ සිටි අලියා පොලිස් මුර පොළ වෙත රැගෙන ගොස් පොලිස් නිලධාරීන්ට පෙන්වීමට සිදුවූ පුවතක් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට එම ඇත්ගොව්වා මෙවර මහනුවර ඇසළ පෙරහරට සුදු මැණිකේ නමැති ඇතින්න රැගෙන පැමිණ ඇත්තේ මහනුවර කතරගම දේවාල පෙරහරට සහභාගී කරවීමටය.

සිව්වන රන්දෝලි පෙරහර දින කතරගම දේවාල පරිශ්‍රයේ අලියා බැඳ ඇත්ගොව්වා තේ පානය කිරීම සඳහා රාත්‍රියේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ආපන ශාලාවකට ගොස් ඇත.

අලියා පෙරහරට සූදානම් කිරීම සඳහා ආපසු එන අවස්ථාවේ දළදා වීදිය සහ යටිනුවර වීදිය එක්වන මංසන්ධිය ආසන්නයේ ඇති පොලිස් මුරපොළේදී ඔහු පරීක්ෂාවට ලක්කර තිබේ.

එම අවස්ථාවේ අලියාට ගස් කැපීම සඳහා භාවිත කරන පිහිය ඔහු සන්තකයේ තිබීම නිසා පොලීසිය ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.

තමන් ඇත්ගොව්වෙකු බව හඳුන්වා දෙමින් කතරගම දේවාලය මගින් ලබාදී තිබෙන හැදුනුම්පත ඉදිරිපත් කළ ද පොලීසිය එය විශ්වාස නොකර දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේ ඇත්ගොව්වා පවසා ඇත්තේ කවුරුන් හෝ දේවාලයට පැමිණෙන්නේ නම් අලියා පෙන්විය හැකි බවයි.

එම ස්ථානය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ නිලධාරියෙකු දේවාලයට එවිය නොහැකි බවයි.

හැඳුනුම්පත හා පිහිය පොලීසියේ භාරයේ තබා ගනිමින් ඒ්වා ලබා ගැනීම සඳහා අලියා රැගෙන එන ලෙස කළ දැනුම් දීම නිසා දේවාලට ගිය ඇත්ගොව්වා පෙරහර නැරඹීමට රැස්ව සිටි ජනතාව අතරින් සුදු මැණිකේ ඇතින්න පොලිස් මුරපොළ දක්වා රැගෙන පැමිණ ඇත.

අලියා දැක බලා ගැනීමෙන් පසු පොලීසිය හැදුනුම්පත සහ පිහිය යළි ඇත්ගෝව්වාට ලබා දීමට පියවර ගෙන තිබේ.