May 19, 2023

පසුගිය වසර ඇතුළත දෙවතාවකදී 300%කින් ඉහළ දැමුණු විදුලි බිල 03%කින් පමණක් අඩු කිරීමට රජය යෝජනා කරයි.

ඊට අදාළ යෝජනාව පසුගිය 16 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදී ඇත.

එහිදී, විදුලිය ඒකක 31 – 60 දක්වා භාවිත කරන පාරිභෝගිකයන්ගෙන් ඒකකයට දැනට අයකරන රුපියල් 37 ක් වන මුදලින් රුපියලක් අඩු කර ඇත. ඒ අනුව ජුලි මස සිට එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 36 කි.

එම යෝජනාවට අනුව 2023 ජූලි 01වැනිදා සිට සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේ දී ගෘහස්ථ විදුලි ඒකක 90 ට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන පරිභෝගිකයන්ගෙන් අය කරන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකෙරෙන්නේ නැත.

එසේම විදුලිය ඒකක 0 – 30 ත් දක්වා විදුලිය පරිභෝජනය කරන පරිභෝගිකයන්ගෙන් ඒකකයට අය කරන රුපියල් 30 ක් වන මුදල රුපියල් 25 දක්වා ද, රුපියල් 400 ක් වන ස්ථාවර ගාස්තුව රුපියල් 250 දක්වා ද අඩුකිරීමට යෝජනා කර තිබේ. මෙම කාණ්ඩයේ රුපියල් 550 ක් වන ස්ථාවර ගාස්තුව රුපියල් 500 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

ඊට අමතරව, විදුලිය ඒකක 61 – 90 දක්වා වූ කාණ්ඩයේ විදුලි ඒකකයක් වෙනුවෙන් අය කරණ රුපියල් 42 ක් වන මුදල රුපියල් 39 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ. එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව වන රුපියල් 650 රුපියල් 600 දක්වා අඩුකෙරෙනු ඇත.

ඒකක 90 සිට වැඩිවන සෑම ඒකකයකට අය කරන ගාස්තු සහ ස්ථාවර ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොකිරීමටද ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරයි.