July 10, 2024

20% ට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට සැලසුම් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී නරේන්ද්‍ර ද සිල්වා විසින් ඊයේ (9) මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද මහජන අදහස් විමසීමේ වැඩසටහනකදී ඉදිරි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් ලබාගැනීමේ අවස්ථාවේදීය.

විදුලි බිල අඩු කිරීමේදී ගෘහ අංශයට සහ ආගමික ආයතනවලට ප්‍රමුඛත්වය දෙන බව නරේන්ද්‍ර ද සිල්වා පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකාවේ දැනට පවතින ගෘහස්ථ විදුලි මිල අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවද සඳහන් කළේය.

“විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 29ක් පමණ වැය වෙනවා. සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ වියදම් ලෙස රුපියල් 7.50ක් එකතු කළ විට ඒකකයක මිල රුපියල් 36.50ක් දක්වා වැඩි වෙනවා. අපේ ණයවලට ගෙවන මුල්‍ය වටිනාකම ලෙස රුපියල් දෙකක් එකතු වෙනවා. ඒ නිසා විදුලි ඒකකයක මිල රුපියල් 38.50ක්” යැයි ඔහු සඳහන් කළේය.

මේ අතර, සැසිවාරය අතරතුර අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ, මහජන උපයෝගිතා කොමිසම මහජනතාවට සෙත සැලසීමට අදහස් කරන්නේ නම් 50% ක ගාස්තු අඩු කිරීමක් යෝජනා කළහ.

ව්‍යාපාර සිය ගණනක් කඩා වැටී ඇති බවත්, වැඩි ගාස්තු හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ලාභය වැඩිවීම මධ්‍යයේ ජනතා දුක්ගැනවිලි නොසළකා හැර ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මීට පෙර වාර්තා වූ ආකාරයට විදුලි බිල සංශෝධනය පසුගිය ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ නමුත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීය.