May 27, 2026

ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක ඉන්දියාවේ බැංගලෝර් හිදී නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ආසාදනය තහවුරු වුවහොත්, එය 2014 වසරෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වන පළමු ඉබෝලා රෝගියා ඇය වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතිකව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගය වැළඳුණු කිසිදු අයෙකු මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා ප්‍රකාශ කර දිනකට පසුව මෙම පුවත වාර්තා වීම විශේෂත්වයකි.

මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට අවසර නොමැති බැවින් නම හෙළි කිරීමට අකමැති වූ එරට සෞඛ්‍ය නිලධාරියකු සඳහන් කළේ, 28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට සිරුරේ සුළු වේදනාවක් හටගෙන ඇති නමුත් ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

ඇයගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් බලධාරීන් බලා සිටී.

දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම කාන්තාව නැගෙනහිර අප්‍රිකානු රටක සිට සිය ගමන ආරම්භ කර ඉන්දියාවේ අහමදාබාද් වෙත පැමිණ, පසුව එතැනින් බැංගලෝර් වෙත ළඟා වී තිබේ.

ඇයගේ පරීක්ෂණ වාර්තා දිනක් හෝ දෙකක් ඇතුළත ලැබීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය නඩ්ඩා පැවසුවේ ගුවන් තොටුපළ සහ අනෙකුත් ඇතුළුවීමේ ස්ථානවලදී මගීන් පරීක්ෂා කිරීමේ සහ නිරීක්ෂණ කටයුතු ඉන්දියාව විසින් දැනටමත් ආරම්භ කර ඇති අතර, පරීක්ෂාවන්, නිරෝධායනය සහ වෙනත් ආරක්ෂිත පියවරයන් පිළිබඳව උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බවයි.

කොංගෝ රාජ්‍යය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ද ඉන්දියාව සිය පුරවැසියන්ගෙන් දැනටමත් ඉල්ලා ඇත.

අප්‍රිකානු කලාපයේ පවතින මෙම මහජන සෞඛ්‍ය අවදානම හේතුවෙන් මේ සතියේ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි නුවර පැවැත්වීමට නියමිතව තිබූ ‘ඉන්දු-අප්‍රිකානු සංසද සමුළුව’ ද කල් දැමීමට පියවර ගැනිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති පරිදි, දැනට ලොව පුරා මෙම වෛරසයේ ‘බුන්ඩිබුග්යෝ’ ප්‍රභේදය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 900කට වැඩි පිරිසක් අතරින් රෝගීන් 101ක් නිල වශයෙන් හඳුනාගෙන ඇත.

මෙම ප්‍රභේදය සඳහා මෙතෙක් අනුමත කරන ලද එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත.