July 10, 2026

හැව්ලොක් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් ටී-56 ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, එම නඩුවේ සැකකරුවකු ලෙස යළි නම් කිරීමට පියවර ගෙන තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 1 අධිකරණය හමුවේ, වැඩබලන මහේස්ත්‍රාත් රවී මතුගම ඉදිරියේ මෙම නඩුව අද (10) කැඳවනු ලැබීය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ, මීට පෙර මෙම සිද්ධියට අදාළ විමර්ශන උධෘත නීතිපතිවරයා වෙත යොමුකර තිබූ බවයි. එහිදී ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවේ සිව්වැනි සැකකරු (දුමින්ද දිසානායක) නිදහස් කර තිබිණි.

කෙසේවෙතත්, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම නඩුවේ දෙවැනි සැකකරුගෙන් ලබාගත් අතිරේක ප්‍රකාශ මත, සිව්වැනි සැකකරු ද මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබේ.

මීට පෙර අනාවරණය වූ සාක්ෂිවලින් කියවුණේ සිව්වැනි සැකකරු මෙම ගිනිඅවිය බැහැර කිරීමට සම්බන්ධ වූ බවයි.

පසුව කළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ එය ළඟ තබාගැනීමට දෙවැනි සැකකරු සහාය දී ඇති බවයි.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ ඒකාබද්ධ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව, දුමින්ද දිසානායක යළිත් මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කෙරිණි.

නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර, ඉදිරියේදී මීට අදාළව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන බව අධිකරණයට දැනුම්දුන්නේය.

දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වාදුන්නේ, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් පසුගිය වසරේ ජූලි 29 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය විසින් තම සේවාදායකයාව නිදහස් කර තිබූ බවයි.

එබැවින් මෙම නව තීරණයට එරෙහිව තමන් මහාධිකරණය හමුවේ අභියෝග කරන බව ඔහු කියාසිටියේය.

කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් රවී මතුගම, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මුදල් දෙකක් මත දුමින්ද දිසානායකව මුදාහැරීමට නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි ප්‍රගති වාර්තා සලකා බැලීම සඳහා මෙම නඩුව නැවතත් එළඹෙන දෙසැම්බර් 11 වැනිදා කැඳවීමට නියමිතය.