May 7, 2024

එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතරේ සිටියේ නම් උතුරේ දේශපාලනඥයන් පොදු අපේක්ෂකයකු පිළිබඳව කතා කිරීමටවත් නොසිතනු ඇති බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.

ජනාධිපතිවරණයට දෙමළ ජනතාව පාර්ශ්වයෙන් අපේක්ෂකයකු ඉදිර්පත් කළ යුතු යැයි උතුරේ පාර්ශ්ව රැසක් ඉදිරිපත් කරනු ලබන යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා මඩකළපුවේදී ජනමාධ්‍ය හමුවක් පවත්වමිනි.

මෙම යෝජනාව හරි හෝ වැරැදි යැයි තමා නොකියන බව පැවැසූ ඇමැතිවරයා, මෙම යෝජනාවේ කිසිදු සත්‍යවාදී බවක් පෙනෙන්නට නැතැයිද කීය.

පසුගිය කාලය පුරාවටම උතුරේ. ඇතැම් දේශපාලනඥයන් ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවට සිය ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු වෙනුවෙන් එම ගැටලු එයාකාරයෙන්ම පවත්වාගෙන පැමිණි බවද, ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිටුපස කිසියම් යටි අරමුණක් තිබිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.(මව්බිම)