June 17, 2024

සයිබර් අපරාධ ක්‍රියාකාරකම් සඳහා මියන්මාරයට බලහත්කාරයෙන් ජාවාරම් කරන ලද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් කඩිනමින් නිදහස් කරගැනීමට රජය බලාපොරොත්තු වන බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පවසයි.

රාජ්‍ය ඇමැති බාලසූරිය පවසා ඇත්තේ මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කර ඇති සයිබර් අපරාධ කඳවුරක තවත් ශ්‍රී ලාංකිකයන් 49 දෙනෙකු තවමත් වහල්භාවයේ සිටින අතර එම කණ්ඩායම කඩිනමින් නිදහස් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ශ්‍රී ලාංකිකයන් පිරිස නිදහස් කරගැනීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

තව තවත් ශ්‍රී ලාංකිකයන් මෙම ජාවාරමට ගොදුරු වෙමින් සිටින බව වැඩිදුරටත් අනාවරණ කර ඇති බාලසූරිය රාජ්‍ය ඇමැතිවරයා , මිනිස් ජාවාරම්කරුවන් හරහා සේවයේ යෙදවූ තවත් ශ්‍රී ලාංකික තරුණයකු පිළිබඳ වාර්තා පළ වී ඇති බව සඳහන් කර ඇත.

මෙවැනි මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් මෙවැනි රැකියා වංචාවලට ගොදුරු වීමෙන් වළකින ලෙසත් රාජ්‍ය ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයට ගෙන්වාගෙන මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කර ඇති සයිබර් අපරාධකඳවුරක සිරකරගෙන සිටි බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා විය.

ශ්‍රී ලාංකිකයන් පිරිස ත්‍රස්තවාදී කණ්ඩායමේ අමානුෂික සැළකීමට ලක්වන බවත්, ඔවුන් නිදහස් කිරීම සඳහා ත්‍රස්තවාදීන් එක් පුද්ගලයකුට ඩොලර් 8000 දක්වා මුදලක් ඉල්ලා සිටින බවත් එකල වාර්තා අනාවරණ කර තිබිණි.

මියන්මාර බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව, පසුගිය වසරේ සිරකරගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් විය.

සිරකරගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මුදා ගැනීම සඳහා ඉන් අනතුරුව ශ්‍රී ලංකා සහ මියන්මාර බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබූ අතර, ඉන් ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු මේ වසරේ අප්‍රේල් මාසයේදී මුදා ගැනීමට බලධාරීන්ට හැකිව තිබිණි.