February 7, 2026

මෙරටට ස්කයිඩයිවිං ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ ශක්‍යතාව අධ්‍යයනය කිරීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ ස්කයිඩයිව් ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් අතර රැස්වීමක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

එම රැස්වීම අතරතුර, ස්කයිඩයිව් ශ්‍රී ලංකා නියෝජිතයන් යෝජිත මෙහෙයුම් අංශ සමඟ ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකමක් ලෙස එහි ප්‍රතිලාභ ඉස්මතු කරමින් ස්කයිඩයිවිං හඳුන්වාදීම පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කට තිබිණි.

නව සංචාරක ආකර්ෂණයක් ලෙස මෙරට ස්කයිඩයිවිං සංවර්ධනය කිරීමේ අපේක්ෂාවන් සහ රටේ සංචාරක අංශයට එය දක්වන දායකත්වය කෙරෙහි සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.

රට තුළ ස්කයිඩයිවිං ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට විය හැකි බාධක සහ අභියෝග හඳුනාගැනීමේ වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

නියාමන, ආරක්ෂාව, මෙහෙයුම් සහ අනෙකුත් අදාළ ගැටළු සමීපව පරීක්ෂා කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ස්කයිඩයිවිං හඳුන්වාදීමේ සමස්ත ශක්‍යතාව තක්සේරු කරන ලෙසත් ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සොයාගැනීම් සමාලෝචනය කර නියමිත වේලාවට වැඩිදුර සාකච්ඡා සඳහා යොමු කරන ලෙසත් ඔහු තවදුරටත් උපදෙස් දී තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්කයිඩයිව් ශ්‍රී ලංකා නියෝජිතයන් සාකච්ඡාවට සහභාගී වී තිබිණි.