September 10, 2026

විදේශ ණය නොමැතිව ‘දේශීය අරමුදල්’ භාවිත කරමින් ලබන වසරේ සිට අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමට රජය කළ නිවේදනය නොමඟ යවන සුළු බවටත්, එම සැලැස්ම රට මත සැබෑ මූල්‍ය හා විදේශ විනිමය බර සඟවන බවටත් සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අනතුරු අඟවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දිලිත් ජයවීර පවසා ඇත්තේ, දේශීය අරමුදල් යනු නොමිලේ ලැබෙන මුදල් නොවන බවත්, ඒවා පුරවැසියන්ගෙන් එකතු කරන බදු සහ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම් වලින් සමන්විත වන බවත්ය. අධිවේගී මාර්ග සඳහා රුපියල් ට්‍රිලියන 2 ක් වැයකිරීමට නම්, රජයට තවත් බදු පැනවීමෙන්, අත්‍යවශ්‍ය වියදම් කපාහැරීමෙන් හෝ දේශීය වෙළඳපොළෙන් තවදුරටත් ණයට ගැනීමෙන් මුදල් රැස් කිරීමට සිදුවන බව ඔහු සඳහන් කරයි.

පහතින් දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර නිකුත්කර ඇති සම්පූර්ණ නිවේදනයයි.

‘ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ලබන වසරේ සිට විදේශ ණය ශතයක්වත් ලබා නොගෙන, දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් ආරම්භ කරන බවයි.

මෙය ජනතාවට ආකර්ෂණීය ප්‍රකාශයක් විය හැකිය. එහෙත් “දේශීය අරමුදල්” යන වචනයෙන් රටට ඇතිවන සැබෑ මූල්‍ය බරත්, විදේශ විනිමය බරත් සඟවන්නට බැහැ.

දේශීය අරමුදල් කියන්නේ නොමිලේ ලැබෙන මුදල් නොවේ.

මහා භාණ්ඩාගාරයේ තිබෙන්නේ ජනතාවගෙන් බදු වශයෙන් ලබාගන්නා මුදල් සහ රජය දේශීය වෙළෙඳපොළෙන් ණයට ගන්නා මුදල්ය. ඒ නිසා මෙම මාර්ග ඉදිකිරීමට රජය රුපියල් ට්‍රිලියන දෙකක් වැය කරන්නේ නම්, එම මුදල ජනතාව මත තවත් බදු පැනවීමෙන්, වෙනත් අත්‍යවශ්‍ය වියදම් කපා හැරීමෙන් හෝ දේශීය වෙළෙඳපොළෙන් වැඩි වශයෙන් ණය ගැනීමෙන් සොයාගත යුතුය.

2027 වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 5.8ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එයින් රුපියල් ට්‍රිලියන 2.64ක් පමණ පොලී ගෙවීම් සඳහා වැය වන අතර, වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සහ අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා තවත් රුපියල් ට්‍රිලියන 3.39ක් පමණ අවශ්‍ය වේ.
ඒ අනුව, ප්‍රාග්ධන ව්‍යාපෘතියකට එක රුපියලක්වත් වෙන් කිරීමට පෙර රජයේ අනිවාර්ය වියදම් ආදායම ඉක්මවා යයි.

ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගැනීමට රජයට සිදුවේ. එවැනි දැඩි මූල්‍ය සීමාවක් යටතේ, අධිවේගී මාර්ග සඳහා පමණක් රුපියල් ට්‍රිලියන දෙකක් වෙන්කරන්නේ කෙසේදැයි රජය රටට පැහැදිලි කළ යුතුය.

රුපියල්වලින් ගෙවූ පමණින් මෙය ඩොලර් රහිත ව්‍යාපෘතියක් වන්නේ නැහැ.
රජය කොන්ත්‍රාත්කරුවන්ට රුපියල්වලින් ගෙවීම් කළ හැකිය. එහෙත් එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඩොලර් සොයාගැනීමට අවසානයේදී සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටය.

අධිවේගී මාර්ග සඳහා අවශ්‍ය වානේ, බිටුමන්, ඉන්ධන, බර යන්ත්‍රෝපකරණ, වාහන, ටයර්, අමතර කොටස්, ලිහිසි තෙල්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ, සංඥා හා ගාස්තු අයකිරීමේ පද්ධති විශාල වශයෙන් ආනයනය කළ යුතුය.
දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති සහ කොන්ක්‍රීට් පවා සම්පූර්ණයෙන්ම දේශීය නොවේ. ඒවායේ ක්ලින්කර්, ඉන්ධන, බලශක්තිය, යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් තුළ සැලකිය යුතු විදේශ විනිමය පිරිවැයක් අන්තර්ගත වේ.

වැලි, ගල් සහ කළුගල් දේශීය සම්පත් වුවද ඒවා කැණීම, කුඩු කිරීම, සකස් කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ඉන්ධන, යන්ත්‍ර, වාහන, ටයර් සහ අමතර කොටස් ආනයනිකය. ඒ නිසා දේශීයව මිලදී ගන්නා අමුද්‍රව්‍ය තුළ පවා සැඟවුණු ඩොලර් පිරිවැයක් තිබේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රම හිඟය පියවීමට විදේශීය ශ්‍රමිකයන් යොදාගන්නේ නම්, ඔවුන්ගේ වැටුප් සහ විදේශ ප්‍රේෂණද තවත් ඩොලර් පිටතට ගලායෑමක් බවට පත්වේ.

මෙම සෘජු ආනයන, දේශීය සැපයුම් තුළ සැඟවී ඇති ආනයනික යෙදවුම්, විදේශීය ශ්‍රමය, යන්ත්‍රෝපකරණ නඩත්තුව සහ ව්‍යාපෘතිය නිසා ඇතිවන අතිරේක ආනයන ඉල්ලුම සියල්ල සැලකිල්ලට ගත් විට, සමස්ත විදේශ විනිමය නිරාවරණය ව්‍යාපෘතියේ වියදමෙන් ඉතා ඉහළ ප්‍රතිශතයකට ළඟා විය හැකිය.
රජය රුපියල් ට්‍රිලියන දෙකක් වැය කරන බව පැවසුවද, එයින් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් දක්වා සෘජු හා වක්‍ර විදේශ විනිමය පීඩනයක් ඇතිවිය හැකි අවදානමක් තිබේ. එය ස්ථිර ගණනයක් නොවුණත්, රජය විසින් බැහැර කළ නොහැකි බරපතළ අවදානම් තත්ත්වයකි.
එවැනි තත්ත්වයකදී රුපියල් ට්‍රිලියන දෙකක වැඩසටහනක් රටේ විදේශ විනිමය ඉල්ලුමට ඇමෙරිකානු ඩොලර් බිලියන 6කට ආසන්න පීඩනයක් ඇති කළ හැකිය.

2028 අප හමුවේ ඇති අභියෝගය මීටත් වඩා බරපතළය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ප්‍රක්ෂේපණ අනුව, 2028 වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 13.9කට ආසන්න මට්ටමකට ගොඩනැගිය යුතුය. මෙය එක් දිනක තැන්පත් කළ හැකි මුදලක් නොවේ. අපනයන, සංචාරක ආදායම්, විදේශ ප්‍රේෂණ සහ සෘජු විදේශ ආයෝජන හරහා වසර කිහිපයක් තුළ උපයා රැස්කළ යුතු සැබෑ විදේශ විනිමය සම්පතකි.
ඒ අතරම, 2028 සිට ප්‍රතිව්‍යුහගත කළ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයවල සේවාකරණ පීඩනය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. විවිධ ගිවිසුම් සහ ආර්ථික තත්ත්වයන් අනුව වාර්ෂික විදේශ ණය සේවාකරණ අවශ්‍යතාව ඩොලර් බිලියන 3.2 සිට බිලියන 5 දක්වා පරාසයක පැවතිය හැකි බවට ඇස්තමේන්තු ඉදිරිපත් වී තිබේ.

එබැවින් 2028 වනවිට අපට එකවර කාර්යයන් තුනක් සිදුකිරීමට සිදුවේ.
පළමුව, දළ නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 13.9කට ආසන්න මට්ටමකට ගොඩනැගිය යුතුය.
දෙවනුව, වැඩිවන විදේශ ණය සේවාකරණ වගකීම් සපුරාලිය යුතුය.
තුන්වනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තය සහ ණය තිරසාරභාවය පවත්වාගත යුතුය.
මෙවැනි පසුබිමක, ඩොලර් බිලියන ගණනක අතිරේක විදේශ විනිමය ඉල්ලුමක් ඇති කළ හැකි අධිවේගී මාර්ග තුනක් එකවර ආරම්භ කිරීම ආර්ථික වශයෙන් ප්‍රායෝගික නොවේ.

මෙය මාර්ග ඉදිකිරීමට විරුද්ධ වීමක් නොවේ. ශ්‍රී ලංකාවට නවීන මාර්ග පද්ධතියක් අවශ්‍යය. එහෙත් රටට දැරිය හැකි ප්‍රමුඛතා, නිවැරදි කාලසටහනක් සහ විදේශ විනිමය උපයන ආර්ථික වැඩපිළිවෙළක් නොමැතිව මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීම සංවර්ධනය නොව තවත් අර්බුදයකට ආරාධනා කිරීමකි.
එබැවින් “විදේශ ණය නොගෙන දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග ඉදිකරනවා” යන ප්‍රකාශය, රුපියල්වලින් මුදල් සපයාගන්නා ආකාරය පමණක් විස්තර කරන අර්ධ සත්‍යයකි. එය රටට ඇතිවන සැබෑ ඩොලර් බර සඟවයි.

මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර රජය පාර්ලිමේන්තුවට සහ ජනතාවට කරුණු පහක් ඉදිරිපත් කළ යුතුය:
1. එක් එක් අධිවේගී මාර්ගයේ සම්පූර්ණ ඇස්තමේන්තුගත පිරිවැය
2. වසරෙන් වසර අවශ්‍ය භාණ්ඩාගාර ප්‍රතිපාදන
3. සෘජු සහ වක්‍ර ආනයනික යෙදවුම් ඇතුළත් සම්පූර්ණ විදේශ විනිමය බලපෑම් තක්සේරුව
4. එම ඩොලර් ප්‍රමාණය උපයාගන්නා නිශ්චිත මූලාශ්‍ර
5. මෙම වියදම IMF මූල්‍ය සීමා, සංචිත ඉලක්ක සහ 2028 සිට ඉහළ යන ණය සේවාකරණ වගකීම් සමඟ ගැළපෙන ආකාරය.

මෙම තොරතුරු නොමැතිව කරන ප්‍රකාශය සංවර්ධන සැලැස්මක් නොවේ. එය මූල්‍ය මූලාශ්‍රයක් නැති දේශපාලන පොරොන්දුවක් පමණි.
අපි අධිවේගී මාර්ග තැනිය යුතුය. එහෙත් ඊට පෙර එම මාර්ගවල ගමන් කරන නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගිය යුතුය. රටට ඩොලර් උපයන ව්‍යවසායන් බිහි කළ යුතුය. අපනයන වර්ධනය කළ යුතුය. සෘජු විදේශ ආයෝජන ලබාගත යුතුය.

උපයා නොගත් ඩොලර් වියදම් කරමින්, රුපියල්වලින් බිල්පත් ගෙවා, එය “දේශීය අරමුදල්වලින් කරන සංවර්ධනයක්” ලෙස හැඳින්වීමෙන් ආර්ථික යථාර්ථය වෙනස් කළ නොහැකිය.’