September 30, 2024

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නැවත භාරදී තිබෙන වාහන සම්බන්ධ පූර්ණ ලේඛනයක් මේ වන විට නිකුත් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද ලේඛනයට අනුව, හිටපු ජනාධිපති උපදේශකයෙකුට පෝශේ (Porsche Cayenne S) වර්ගයේ සුපිරි මෝටර් රථයක්ද වෙන්කර ඇත.

හිටපු ජනාධිපති ලේකම්වරයාට Mercedes Benz 300 වර්ගයේ මෝටර් රථයක් ලබාදී ඇති අතර, හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට Land Cruiser V8 මෝටර් රථයක් ලබාදී ඇති බවද එම ලේඛනයේ සඳහන් වේ.

යළි භාරදී තිබෙන රථවාහන ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිටත් පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ එම වාහන ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ගාල්කිරීමට ඉඩකඩ නොමැති නිසා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයට අනුව නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ කළ දැනුම්දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර ඇත.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බව ද එම නිවේදනයේ දැක්වේ.

එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ කඩ නොමැති නිසා පමණක් වන අතර කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට අදාළව පසුගියදා ලබාදුන් උපදෙස් පරිදි මෙම රථවාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් තිබෙන බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

එසේම විනිවිද බව හා නිරවද්‍යතාව ආරක්ෂා කිරීම උදෙසා එලෙස භාර දෙන ලද රථ වාහනවල සම්පූර්ණ ලැයිස්තුවක් ද මේ වන විට නිකුත් කර තිබේ.

42.31%
17.27%
32.76%