
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඊයේ ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා ලෙස පත්කළ අතර, ඊට පෙර, එම පත්කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය බහුතර කැමැත්ත ලබාදුන්නේය.
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිය අවසන් තීරණය ලබාගත් ආකාරය සම්පුර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට මේ වන විට අදහස් පලවෙමින් පවතී.
අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.ඇල්.පීරිස් විසින්, එලෙස පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී වන්නේ කෙසේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උපුටා දක්වමින් පැහැදිලි කළේය.
පහතින් දැක්වෙන්නේ ඔහුගේ එම පැහැදිලි කිරීමයි.
“ශ්‍රී ලංකාවේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත්කළ බව රජය ප්‍රකාශයට පත්කළා. මේ පත්වීම සිදුකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. ජනාධිපතිවරයාට මෙම පත්කිරීම සිදුකිරිමට හැකිවන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒක ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනිවාර්යෙන් අවශ්‍ය වන කාරණයක්. අනුමැතිය නොමැතිව පොලිස්පතිවරයා පත්කිරිමට හැකියාවක් නෑ.
පොලිස්පතිවරයා පත්කිරිම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිටින සමාජිකයන්ගෙන් 5ක් ඡන්දය ලබාදිය යුතුයි. නමුත් පොලිස්පතිවරයා පත්කිරිම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 4ක් පක්ෂව ඡන්දව ලබාදී තිබෙනවා. විපක්ෂව සමාජිකයන් 2ක් ඡන්දය ලබාදුන්නවා. මේ අතර සිවිල් සමාජිය නියෝජනය කරන සාමජිකයන් ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගි වුණේ නෑ.
ශ්‍රී ලංකාවේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත්කිරිමට ජනාධිපතිවරයා සිදුකළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවෙන් ලැබුණේ ඡන්ද 4ක් පමණයි. නමුත් එම තීරණය බලාත්මක වීමට ඡන්ද 5ක් අවශ්‍යයි. පස්වෙනි ඡන්දය ලැබුණේ කතානායකවරයාගෙන්. ඒ අනුව ඡන්ද5 ක් බවට පත්වුණා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායකවරයාට ඡන්දය ලබාදීමට හැකියාවක් තිබුණේ නෑ. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඉ වගන්තියේ 5වන ඡේදයේ මෙසේ සඳහන් වෙනවා. ‘‘සභාපතිවරයාට හෝ රැස්වීමේ මුලාසනය දරන සමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත් සභාවේ යම් ඇසිය යුතු ප්‍රශ්නයක් සඳහා සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවේදී සභාපතිවරයාට හෝ රැස්වීමේ මුලාසනය දරන සමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය.‘‘
පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරීම සඳහා රැස්වුණ ව්‍යවස්ථාදායක සභාවේ මූලාසනය හෙබවුයේ කතානායකවරයා. ඔහු තමයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාට මුල් ඡන්දයක් නැති බව. නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයා ප්‍රකාශ කළේ මුල් ඡන්දයක්. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාට නැති ඡන්දයක් භාවිතා කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කතානායකවරයා උල්ලංඝනය කළා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයාට ඡන්දය ලබාදීමට හැකිවන්නේ සම සමව ඡන්දය බෙදුණ අවස්ථාවකදී පමණයි. ඒ අනුව කතානාකයකවරයා සෘජුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.
ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා පමණක් නෙවෙයි, ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත්කිරිම අනුමත කළ බව ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා. ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා සිදුකළේ සාවද්‍ය ප්‍රකාශයක්. පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත් කිරිමට ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතියක් ලැබුණේ නෑ. කතානාකයකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කළා සේම, ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරිමේ වරදට වගකිව යුතුයි. ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයාටත් විරුද්ධව අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරිමට ජනාධිපතිවරයා සිදුකළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවෙන් ලැබුණේ ඡන්ද 4ක් පමණයි. කතානායකවරයාගේ ඡන්දය වලංගු නෑ. එම ඡන්දය නීතිවිරෝධි ඡන්දයක්. පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරිමට ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතියක් ලැබුණේ නෑ. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් තොරව නීත්‍යානුකූල ලෙස පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරිම සිදුකරන්න බෑ. පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත්කිරිම නීතිවිරෝධි පත්වීමක්.
පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරිමට විරුද්ධව සිවිල් සංවිධාන කිහිපයක් මානව හිමිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරලා තිබුණා. ඒ නඩු කැඳවන්න තීන්දු කරලා තිබුණේ අද දවසේ. ඒ නිසා තමයි ඉක්මණින් පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත්කිරිම සිදුකළේ. නමුත් එම පත්වීම සිදුකළේ නීතිවිරෝධි ලෙස.
ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඉතාමත් කීර්තිමත් ආයතනයක්. රට තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොලිසියට පැවරනේනේ අතිශයින් වැදගත් කාර්යය භාරයක්. එවැනි වැදගත් ආයතනයක ප්‍රධානියා ලෙස පත් කරන පුද්ගලයා රටේ පුරවැසියන්ට වධහිංසා පනවලා තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙසද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විනය පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තිබෙනවා. එවැනි පුද්ගලයෙක් තමයි ශ්‍රී ලංකා පොලිසියේ නායකයා ලෙස පත්කරලා තිබෙන්නේ. මේක අදහාගත නොහැකි තත්ත්වයක්. ප්රජාතන්ත්රවාදී රටක සිදුවෙන දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ.
1866 සිට ශ්‍රී ලංකා පොලිසියට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අද ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් 91,500 ක් විතර ඉන්නවා. රටේ පුරවැසියන්ට වද හිංසා කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ලක්ෂ 5ක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා. කොස්තාපල්වරයාට එරෙහිව විනය පියවර ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා. එසේනම් අනිවාර්යෙන් ඒ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනවා. නමුත් එලෙස කටයුතු කළ පොලිස් නිලධාරියෙක් පොලිසියේ උසස්ම නිලයට පත්කරනවා. මේ නිසා ශ්‍රි ලංකා පොලිසිය ලෝකය ඉදිරියේ නිග්රහයකට ලක් වෙනවා. මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. මේවැනි දේවල් සිදුවන්නේ රටේ ජනමතයක් නැති නිසා. ජනමතයක් තිබෙන රටක මෙවැනි දේවල් සිදුවන්නේ නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart