July 13, 2026

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීනී දීපා එදිරිසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (13) නිල වශයෙන් ප්‍රකාශ කළේය.

දීපා එදිරිසිංහ මන්ත්‍රී ධුරයට පත්වන අවස්ථාවේදීම, වසරක කාලයකින් පසුව ඉන් ඉල්ලා අස්වන බවට පක්ෂයට පොරොන්දු වී තිබූ අතර, මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ එම එකඟතාවට අනුවය.

මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුවද, ඇය පක්ෂයේ මාධ්‍ය කාරක සභාවේ සහ සංවිධායක ධුරයේ කටයුතු තවදුරටත් සාමාන්‍ය පරිදි සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් කිහිපදෙනකුම මීට පෙරද මේ අයුරින් කළින් ඇති කරගත් එකඟතා මත ඉල්ලා අස්වී ඇති බැවින්, මෙය පක්ෂය තුළ සිදුවන සාමාන්‍ය තත්ත්වයක් බවද ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේය.