August 20, 2026

පස් හැවිරිදි පලස්තීන දැරියක වන හින්ද් රාජබ් සහ ඇගේ ඥාතීන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් 2024 වසරේදී ගාසා තීරයේදී සිදුවූ වෙඩි තැබීම තම හමුදා භටයින් අතින් සිදුවූවක් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රථම වරට තහවුරු කර තිබේ.

හින්ද් දැරිය බේරාගැනීම සඳහා පැමිණි පලස්තීන රතු අඩ සඳ සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනාගේ මරණය ද ඇතුළත්ව, මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ලබා දී තිබූ පූර්ව දැනුම්දීම්වලට පටහැනිව ගමන් කළ වාහනයකට හමුදා භටයින් මෙසේ වෙඩි තබා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

BBC පුවත් සේවයට අනුව ඊශ්‍රායල ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ, පලස්තීන රතු අඩ සඳ සංගමයේ ගිලන් රථයේ ගමනාගමන සම්බන්ධීකරණයේදී සිදුවූ බව කියන දෝෂ හේතුවෙන්, හමුදා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

ප්‍රහාරයෙන් මුලින් දිවි ගලවාගත් හින්ද් දැරිය, පැය ගණනාවක් තිස්සේ පලස්තීන රතු අඩ සඳ සංගමයේ දුරකථන මෙහෙයුම්කරුවන් සමඟ රැඳී සිටිමින් තමන්ව බේරාගන්නා ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියාය.

ඊශ්‍රායල හමුදාව සමඟ සිදුකළ සම්බන්ධීකරණයෙන් පසුව, යූසුෆ් අල්-සෙයිනෝ සහ අහමඩ් අල්-මධූන් යන වෛද්‍යවරුන් රැගත් ගිලන් රථයක් ඇය වෙත යවා තිබේ. පලස්තීන රතු අඩ සඳ සංගමය සඳහන් කළේ පසුව එම ගිලන් රථයට ද ප්‍රහාරයක් එල්ල වූ අතර එහි සිටි වෛද්‍යවරුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වූ බවයි.

හින්ද් දැරියගේ සහ ඇගේ ඥාතීන්ගේ සිරුරු දින කිහිපයකට පසුව සොයාගන්නා ලදී.

හින්ද් දැරිය උපකාර ඉල්ලා ලබාදුන් සංවේදී දුරකථන ඇමතුම්වල හඬ පට ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟ ඇගේ ඝාතනය ජාත්‍යන්තරයේ බලවත් දෝෂදර්ශනයට ලක්විය.

ඇගේ කතාව පසුව ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ “ද වොයිස් ඔෆ් හින්ද් රාජබ්” (The Voice of Hind Rajab) සිනමාපටයට ද වස්තු විෂය විය.

බ්‍රසල්ස් නුවර පදනම් කරගත් හින්ද් රාජබ් පදනම ප්‍රකාශ කළේ ඊශ්‍රායල හමුදාව සිදුකරන මෙම පරීක්ෂණය කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එමෙන්ම ඊශ්‍රායලයේ අභ්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයේ විශ්වාසනීයත්වය ද එම පදනම විසින් ප්‍රශ්න කර ඇත.

කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහන් කරන්නේ ඊශ්‍රායල සහ ජාත්‍යන්තර නීතිය යටතේ පැවරී ඇති වගකීම්වලට අනුව, අර්බුදකාරී සටන් පැවැත්වෙන අතරතුර සිදුවන මෙවැනි සුවිශේෂී සිදුවීම් පිළිබඳව තමන් විමර්ශනය කරන බවයි.