April 13, 2024

මෙම වසරේ ජනාධිපතිවරණය සඳහා වන දිනය අගෝස්තු මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් තහවුරු කර තිබේ.

කොමිෂන් සභාවේ සභාපති R.M.A.L.රත්නායක පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණය සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 17 අතර පැවැත්වීමට නියමිත බවයි.

ජනාධිපතිවරණය සඳහා නිශ්චිත දිනය අගෝස්තු මස මුලදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ද සඳහන් කර ඇත.

මැතිවරණ දිනය තෝරා ගැනීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති ක්‍රියාපටිපාටි දැඩි ලෙස අනුගමනය කරන බව ද සභාපතිවරයා පවසා ඇත.

ඒ අනුව, 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 2 වැනි වගන්තියේ මෙසේ සඳහන් වේ: “(1) මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවක, ඔහු එම නියෝගය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කළ යුතුය.

(අ) නාමයෝජනා කැඳවීමේ දිනය, එම නියෝගය ප්‍රකාශයට පත් කළ දින සිට දින 16කට නොඅඩු සහ මාසයකට නොවැඩි දිනයක් විය යුතුය; සහ (ආ) නාමයෝජනා කැඳවීමේ දින සිට මාසයකට නොඅඩු සහ මාස දෙකකට නොවැඩි දිනයක ඡන්ද විමසීම සිදුකළ යුතුය.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII පරිච්ඡේදයේ 31(3) හි මෙසේ සඳහන් වේ: “ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පැවැත්විය යුත්තේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට මාසයකට නොඅඩු සහ මාස දෙකකට නොවදි කාලයකදීය.

එළැඹෙන ජනාධිපතිවරණයට සූදානම්වීම සඳහා මැතිවරණ නාමලේඛනය සකස්කිරීම ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට සූදානම් වීමට කොමිෂන් සභාව විසින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

“මුද්‍රණ කටයුතු සඳහා කඩදාසි තිබෙන බව රජයේ මුද්‍රණාලය විසින් තහවුරු කර තිබෙනවා. අපට මැතිවරණ වියදම් සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා. කොමිසම මුලින් මුදල් වියදම් කර පසුව මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූරණය ඉල්ලා ඒ අනුව අරමුදල් ලබා ගන්නවා. මැතිවරණ රාජකාරි භාර ගැනීමට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවක සංචිතයක් අපි දැනටමත් සකස්කර තිබෙන්නේ. ඉන් අවශ්‍ය ශ්‍රම බලකාය තෝරා ගන්නවා. මැතිවරණ ක්‍රියාවලියේ ආරක්‍ෂක කටයුතු පොලිසිය විසින් කළමනාකරණය කරයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

(The Sunday Morning)