May 9, 2025

දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවලගේ නියෝගයකට අනුව මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්විණි.

ඒ අනුව නඩු විභාගයේදී අධිකරණයට දැනුම් දී ඇත්තේ සාක්ෂිකරුවන් තිදෙනෙකු සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති බවයි.

කෙසේවෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා එහිදි තර්ක කර තිබුණේ එම හඳුනාගැනීම් පෙරට්ටුව නොමඟ යවනසුළු එකක් බවට‍යි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, සැබෑ අපරාධකරුවන් නිදැල්ලේ සිටින බවත් නීතිඥවරයා පවසා තිබේ.

පෙරට්ටුවට ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනා එක් සැකකරුවෙකුගේ ඥාතියෙකු බව පවසමින් එම නීතිඥවරයා වැඩිදුරටත් විරෝධය පළකළේය.

සැකකරු හඳුනන පුද්ගලයින්ට පෙරට්ටුවකට සඳහා සහභාගීවීමට ඉඩදීම ක්‍රියාවලියේ විශ්වසනීයත්වය පළුදු කරන බවටද ඔහු තර්ක කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියකු අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සහ විමර්ශනයේදී අනාවරණය වූ සීසීටීවී දර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවද එම නිලධාරියා තහවුරු කළේය.

ඉදිරිපත් වූ කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මැයි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.