August 17, 2023

රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අතිරේක අරමුදල් පහසුකම් ලබා දෙන අතරතුර ප්‍රාග්ධන වෙළෙඳපොල ශක්තිමත් කිරීම මත ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය හා ප්‍රකෘතිය රඳා පවතින බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව සංවිධාන කර තිබූ සංසදයකට එක්වෙමින් USAID ආර්ථික වර්ධන උපදේශක මාර්ක් පීටර්ස් වැඩිදුරටත් පැවසුවේ පුද්ගලික ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට තම ආයතනය ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ කටයුතු කරන බවයි.

“කොළඹ කොටස් හුවමාරුව හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අරමුදල් අවස්ථා විවර කිරීම” යන තේමාව යටතේ කොළඹ කොටස් හුවමාරුව, USAID සමග එක්ව සැසිවාරයක් සංවිධාන කර තිබුණි.

කෘෂි ව්‍යාපාර සහ තොරතුරු හා සන්නිවේද තාක්‍ෂණය (ICT) වැනි ප්‍රධාන අංශවල කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන්ට සවිබල සහ දිරිසවි පුවරුවල ලැයිස්තුගත කිරීම මගින් කොළඹ කොටස් හුවමාරුවේ ඇති ප්‍රාග්ධන රැස්කිරීමේ අවස්ථා සොයා ගැනීම සඳහා මෙම සංසදය මගින් අවබෝධයක් ලබා දෙන ලදී. .

මාර්ක් පීටර්ස් පෙන්වා දුන්නේ, USAID – MSME අරමුදල් සූදානම් කිරීමේ වැඩසටහනට ඇතුළත් වීමෙන් ව්‍යාපාරවලට, වර්ධනය සඳහා නැවුම් මංපෙත් විවර කරගැනීමට, ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට සහ රටේ ආර්ථික සමෘද්ධියට දායක විය හැකි බවයි.

USAID CATALYZE පුද්ගලික අංශයේ සංවර්ධන (PSD) ක්‍රියාකාරකම් හරහා USAID ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුද්ගලික ප්‍රාග්ධනය ඉහළ නංවයි.

එවැනි වැඩසටහන් පෞද්ගලික අංශයට ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ දැරිය හැකි මූල්‍ය ප්‍රවේශයට පහසුකම් සැලසීමට සහාය වේ.

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ගතික වර්ධනයක් නිරීක්ෂණය කරන අතර රජයේ මෑතකාලීන දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ක්‍රියාවලිය කොළඹ කොටස් හුවමාරුව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ බවය.

 

සමුලුව අමතමින්, Acuity Partners (PVT) Ltd ජ්‍යෙෂ්ඨ උප සභාපති අමානි රණවීර පැවසුවේ,ආ ර්ථික පුනර්ජීවනයක ප්‍රත්‍යක්ෂ ලකුණු දක්නට ලැබෙන බවය.

අභියෝගාත්මක වසර කිහිපයකට පසු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ප්‍රාග්ධන රැස්කිරීමේ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා සුදුසු රාමුවක් සහ ක්‍රියාවලි සකස් කිරීමට දැන් කාලය පැමිණ ඇති බව ඇය පැවසීය.

“CSE හරහා අරමුදල් රැස් කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පාලනය පවත්වා ගනිමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ප්‍රතිරූපය සහ දෘශ්‍යතාව වැඩි දියුණු කිරීම මෙන්ම අනාගත අරමුදල් සහ වර්ධනය සඳහා වේදිකාවක් නිර්මාණය කරමින් අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ හැකි ශක්‍ය විකල්පයකි.” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සුුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මෙරට රැකියා අවස්ථාවලින් සියයට 45ක්, අපනයනවලින් සියයට 20ක් නිර්මාණය කරන අතරම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52කට දායක වන බව මෙහිදී අනාවරණය විය.