July 31, 2023

උපාධි අපේක්ෂකයන් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක උපායමාර්ගික මුලපිරීම් ගණනාවක් මත එක්ව වැඩකිරීමෙන් උපාධි අපේක්ෂකයන් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතා ගිවිසුම යෝජනා කරයි.

ඒ අනුව, මෙමගින්, ගණකාධිකරණය සහ මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව ආශ්‍රිත උපාධි වැඩසටහන්වල නියැළී සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා ප්‍රායෝගික අධ්‍යාපනික පුහුණුව සහ සීමාවාසික අවස්ථාවන්  ලබාදෙනු ඇත.

එසේම, රටපුරා සිටින ආයෝජකයන් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම පිණිස කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ සහ වැඩමුළු සඳහා, ප්‍රවිණයන් සහ සම්පත්දායකයින් ලබා දෙමින්, රුහුණු විශ්ව විද්‍යාලය, කොළඹ කොටස් හුවමාරුවෙහි දැනට ක්‍රියාත්මක අධ්‍යාපනික වැඩසටහන්, මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමාව (ADFM) මෙන්ම ඉදිරි අධ්‍යාපන ක්‍රියාකාරකම් සමඟ ද සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී, රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ, “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායකවීමට සිටින  ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයන් අතර මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්වේ. මෙම අරමුණ පෙරදැරි කරගෙන  , ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තිරසාර වර්ධනය සඳහා මූල්‍ය සාක්ෂරතාවයෙන් යුත් උපාධි අපේක්ෂකයන් පිරිසක් ප්‍රවර්ධනය කිරීමේ ඵලදායී මුලපිරීම් මාලාවක් සඳහා රුහුණු විශ්වවිද්‍යාලය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු” යන්නයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ද අදහස් දක්වමින්, දෙපාර්ශවයටම වැඩි අවස්ථා ගෙනඒම සඳහා රුහුණු විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන්, කොළඹ කොටස් වෙළෙඳපොළට ස්තුතිය පළකළේය.

“බොහෝදෙනා කොටස් වෙළඳපොලේ ආයෝජනයට යොමු නොවී ඇත්තේ ප්‍රාග්ධන හිඟය නිසා නොව, ඔවුන්ට ඇති පහළ මූල්‍ය සාක්ෂරතාවය හේතුවෙනි. විශ්වවිද්‍යාල ප්‍රජාව නිරීක්ෂණය කල විට පෙනී යන්නේ සියලු දෙනාට කොටස් වෙළඳපොළ පිළිබඳ අධ්‍යාපනයත්  ඉහළ මූල්‍ය සාක්ෂරතාවරත් තිබිය යුතු වන්නේ කළමණාකරණ පීඨයට පමණක් නොව අධ්‍යයන සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයට පවා ප්‍රායෝගිකව මූල්‍ය කළමණාකරණය කිරීම අත්‍යවශ්‍ය වන බැවිනි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා වෘත්තීමය කටයුතු ආචාරධර්මවලට අනුව පවත්වා ගැනීම අවම මට්ටමක තිබෙන පසුබිමක, මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමෙන්, ශිෂ්‍යයන් ව්‍යාපාර හා වෘත්තීමය පැතිකඩ ආචාරධර්ම වලට අනුකූල වෙමින් පවත්වාගෙන යෑමේ වැඩි ඉඩ කඩක් ඇත.”

තවද සියලු අධ්‍යයන පීඨවල කොටස් වෙළඳපොළ සංගම් පිහිටුවීමට කටයුතු කරන ලෙසද උපකුලපතිවරයා විසින් යෝජනා කර ඇත.