May 2, 2026

ගෝලීය මිණුම් දණ්ඩක් වන බ්‍රෙන්ට් බොරතෙල් මිල පසුගිය බදාදා බැරලයකට ඩොලර් 120 ට වඩා ඉහළ ගොස් ඩොලර් 122 ක් ලෙස සටහන් වූ අතර එය 2022 න් පසු වාර්තා වූ ඉහළම මිලයි.

බීබීසීයට අනුව, චෙව්රොන් ප්‍රධාන විධායක මයික් වර්ත් ඇතුළු බලශක්ති විධායකයන් අඟහරුවාදා ධවල මන්දිරයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී ඇමරිකානු පාරිභෝගිකයන්ට යුද ගැටුමෙන් ඇති වන බලපෑම සීමා කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීම දිගු කාලයක් පවතිනු ඇති බවට වන අපේක්ෂාව, තෙල් වෙළඳුන් මෙම රැස්වීම පැවැත්වීමට හේතුවී තිබේ.

ධවල මන්දිර නිලධාරියකුට අනුව, ඇමෙරිකානු බලශක්ති නිෂ්පාදනය, වෙනිසියුලාවේ ප්‍රගතිය, තෙල් අනාගතය, ස්වාභාවික ගෑස් සහ නැව්ගත කිරීම ඇතුළු මාතෘකා මෙහිදී සාකච්ඡා කර ඇත.

ඇමරිකානු අවහිරයට ප්‍රතිචාර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට බාධාකරන බව ඉරානය පවසා තිබේ.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අප්‍රේල් 17 වැනි දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 දක්වා පහත වැටිණි.

කෙසේවෙතත්, එක්සත් ජනපදය සිය අවහිරය දිගටම පවත්වාගෙන යෑමත් සමඟ පසුගිය දින 12 තුළ තෙල් මිණුම් ලකුණ ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.