August 17, 2026

පෘතුගාල ජාතික පාපන්දු නායක, 41 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වසර 20කට අධික දීප්තිමත් ක්‍රීඩා ජීවිතය මෙම තරග වාරය අවසානයේදී නිමාකිරීමට වැඩි ඉඩකඩක් ඇති බවට ඉඟිකර තිබේ.

වෝග් (Vogue) සඟරාව සමඟ ඉරිදා පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, “මෙය මගේ පාපන්දු දිවියේ අවසාන වසර විය හැකියි. මට අවශ්‍ය වන්නේ විශිෂ්ට මතකයන් සමුදායක් ඉතිරි කරමින් සමුගැනීමටයි” යනුවෙනි.

මේ වන විට සිය ක්‍රීඩා දිවියේ ගෝල 976ක් ලබාගෙන සිටින රොනාල්ඩෝ, ගෝල 1,000 සන්ධිස්ථානය කරා ළඟාවීමට තවත් ගෝල 24ක් පමණක් පසුපසින් සිටී.

පස්වතාවක් Ballon d’Or සම්මානය දිනාගත් රොනාල්ඩෝ, 2002 වසරේදී ස්පෝටිං කණ්ඩායමෙන් සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා දිවිය ආරම්භ කළ අතර, පසුව මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් සහ යුවෙන්ටස් යන සුපිරි කණ්ඩායම් නියෝජනය කළේය. ඔහු දැනට සෞදි ප්‍රෝ ලීග් හි අල්-නසර් කණ්ඩායම නියෝජනය කරයි.

අන්තර්ජාතික පාපන්දු පිටියේ වැඩිම ගෝලලාභියා වන රොනාල්ඩෝ (ගෝල 146) ප්‍රකාශ කළේ, පාපන්දුවෙන් සමුගැනීම තම ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කරනු ඇති බවයි.

කෙසේවෙතත්, ක්‍රීඩාවෙන් පසු සංචාරය කිරීමට, පැඩල් (padel) ක්‍රීඩාවේ නිරත වීමට සහ විවේකීව කාලය ගතකිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් පරිච්ඡේදය විය හැකි මෙම තරග වාරයේදී, ගෝල 1,000 සන්ධිස්ථානය හඹායමින් ඔහු අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාකරනු ඇත.