April 24, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග ජයග්‍රහණ කරද්දී ‍බෝනස් මුදලක් ප්‍රදානය කිරීමටත් තරග පරාජය වෙද්දී මුදල් කපාදැමීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේදී මේ මූල්‍ය ප්‍රතිපත්තිය හඳුන්වාදීමට කටයුතු කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමන්මඟ පැහැදිලි කිරීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොව නව මූල්‍ය ක්‍රමවේද පුහුණුකරුවන්ටත් හඳුන්වාදී ඇතැයි ඔහු සඳහන් කළේය.

“ක්‍රීඩකයන්ගේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සකස් කරන්නේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයයි. නමුත් මූල්‍ය පැත්ත හදන්නේ ක්‍රිකට් ආයතනය. ඉදිරියේදී ගිවිසුම් අත්සන් කරද්දී ජයග්‍රහණයේදී වාසිවන ආකාරයේ බෝනස් ක්‍රමයක් ව‍ගේම මැච් පැරදුණොත් ඔවුන්ට දැනෙන විදිහේ ක්‍රමයක් සකසා තිබෙනවා” ඈෂ්ලි ද සිල්වා පැවසීය.

මෙම ජනමාධ්‍ය හමුවට එක් වූ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික ගැරී කර්ස්ටන් පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට ලබාදී ඇති පහසුකම් පිළිබඳ තමන් සතුටට පත්වන බවත්, ඒවා දකුණු අප්‍රිකාවට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් ඇති බවත්ය.

“මම ශ්‍රී ලංකාවට පැමිණි පළමු සතියේම කණ්ඩායම පිළිබඳ සොයාබැලීමක් කළා. ඒ වගේම සංස්කෘතිය හොඳින් තේරුම් ගත යුතුයි. ක්‍රීඩකයන් උනන්දු කරවන දේ තේරුම් ගත යුතුයි. පරිසරය තේරුම් ගත යුතුයි. මේ ගමන යනකොට මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා” කර්ස්ටන් පැවසීය.

ලෝක කුසලානය සඳහා කණ්ඩායම නැවත ගොඩනැඟීමේදී මෙරට ක්‍රිකට් අනන්‍යතාව අවබෝධ කර ගැනීම වැදගත් බව නව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් පැවසීය.

58 හැවිරිදි හිටපු දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු පසුගිය සතියේ වසර දෙකක කොන්ත්‍රාත්තුව ආරම්භ කළ අතර, අනතුරුව පළමු ජනමාධ්‍ය හමුවට ඊයේ සම්බන්ධ වූවේය.

කර්ස්ටන් 2008 සිට 2011 දක්වා ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔවුන් ලෝක කුසලාන ජයග්‍රහණය කරා මෙහෙයවිය.

පසුව 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකාවේ පුහුණුකරු ලෙස කටයුතු ‍ කොට එම පිල ඉදිරියට ගැනීමට ක්‍රියාකළේය.

කර්ස්ටන් පැවසුවේ, තමා භාෂා පරිවර්තකයන් සමඟ වැඩ කරන හෙයින් ක්‍රීඩකයන් සමඟ සන්නිවේදනයේදී ගැටලුවක් ඇති නොවන බවය.

නමුත් සන්නිවේදන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉතා හොඳින් ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම පෙන්වාදුන්නේය.

“අපි හැමෝම කැමතියි කණ්ඩායම සියලු ආකෘතීන් හරහා හොඳින් දස්කම් දක්වනවා දකින්න. පැහැදිලිවම, විශාල තරගාවලි කිහිපයක් ළඟ ළඟම එනවා. ලෝක කුසලානයේදී ඇත්තටම හොඳින් ක්‍රීඩා කිරීම අවශ්‍යයි. මේ මොහොතේ මගේ ප්‍රමුඛතාව විවිධ ආකෘතිවලින් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් කවුරුන්ද යන්න තේරුම් ගැනීමයි. ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායමක් රැගෙන ඔවුන්ට පුහුණුවීම් ලබාදී ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම්වලට එරෙහිව හොඳින් දස්කම් දැක්වීමට උපකාර කිරීම මගේ කාර්යයයි” කර්ස්ටන් වැඩිදුරටත් පැවසීය.(දිනමිණ)