July 7, 2026

තම ඉඩම වටා නීතිවිරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැන්වලින් විදුලිසැර වද්දා අසල්වැසියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයෙකු ඉදිරිපත් කළ අභියාචනාවක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, ගාල්ල මහාධිකරණය විසින් 2024 ඔක්තෝබර් 16 වැනිදා ලබාදුන් මරණ දඬුවම් තීන්දුව එලෙසම ස්ථාවර කිරීමට පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ තීන්දු කළේය.

මෙලෙස මරණ දඬුවම ස්ථාවර කෙරුණේ අජිත් චන්දන හේවාවිතාරණ නැමැති විත්තිකරුටය.

ඔහු විසින් 2000 පෙබරවාරි 6 වැනිදා තම බුලත් වගාව සහ නිවස වටා ඇද තිබූ විදුලි රැහැන්වල පැටලීමෙන් මේදවකන්දගේ චන්ද්‍රපාල නැමැති අසල්වැසියා විදුලිසැර වැදී මියගොස් තිබිණි.

මියගිය පුද්ගලයා රාත්‍රී ආහාරයෙන් පසු නිවස බලා යමින් සිටියදී විත්තිකරුගේ ඉඩම මැදින් වැටී තිබූ කෙටි පාරක් භාවිත කිරීමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

අසල්වැසියන් මෙම කෙටි පාර නිතිපතා භාවිත කරන බව දැන දැනම විත්තිකරු සිතාමතාම මෙලෙස අධිබලැති විදුලි රැහැන් ඇද ඇති බැවින්, එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 294 වන වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනාවට සෘජුවම අදාළ වන බව විනිසුරු මඩුල්ල මෙහිදී අවධාරණය කළේය.