September 1, 2026

X-Press Pearl නෞකා සමාගමෙන් සහ එහි දේශීය නියෝජිතයන්ගෙන් මෙරටට ලැබීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 999 කට ආසන්න වන්දි මුදල අහිමි වීමට ක්‍රියා කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව විසින් ඊයේ දිනයේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මෙම ලිඛිත පැමිණිල්ල භාරදී තිබේ. X-Press Pearl වන්දි නඩුවට අදාළව මෙම විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඔහු එමගින් ඉල්ලා සිටී.

අදාළ වන්දි මුදල අහිමි වීම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ යම් සබඳතාවක් පවතින්නේද යන්න පිළිබඳවද මෙම පැමිණිල්ලෙන් ප්‍රශ්න කර ඇත. අදාළ ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධ කරුණු අභියෝගයට ලක් කරමින් වෛද්‍ය සංජීව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර තිබේ.

එම පැමිණිල්ලට අනුව, අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුඛ පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් SC/FR/168/2021, SC/FR/176/2021, SC/FR/184/2021 සහ SC/FR/277/2021 යන නඩුවලට අදාළව තීන්දු ලබා දෙමින්, 2025 සැප්තැම්බර් 24 වන දිනට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ගෙවන ලෙස අදාළ නෞකා සමාගමට සහ එහි නියෝජිතයන්ට නියෝග කර තිබුණි.

කෙසේ වෙතත්, අදාළ නියෝගයට අනුව ගෙවිය යුතුව තිබූ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණක් ගෙවා ඇති අතර, අධිකරණය නියෝග කළ මුදලින් ඩොලර් මිලියන 249 කට ආසන්න හිඟ මුදලක් තවමත් ගෙවා නොමැති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

අධිකරණ නියෝගය ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියද, අදාළ විනිසුරුවරුන් තිදෙනා විසින් එකී සමාගමට එරෙහිව එවැනි කිසිදු පියවරක් ගෙන නොමැති බවටද චෝදනා එල්ල කර ඇත.