August 20, 2026

දුම්කොළ නිෂ්පාදන සඳහා පනවා ඇති බදු අඛණ්ඩව ඉහළ නැංවීම හමුවේ 2022 සහ 2025 වසර අතර කාලය තුළ මෙරට සිගරට් නිෂ්පාදනය 32%කින් පහත වැටී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන් දත්තවලට අනුව, රජයේ දුම්කොළ බදු ප්‍රතිපත්තියේ බලපෑම නිරූපණය කරමින් 2022 වසරේදී බිලියන 2.8ක් වූ සිගරට් නිෂ්පාදනය 2025 වන විට බිලියන 1.9 දක්වා අඩුවී ඇත.

මෙම බදු ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ රජයේ ආදායම වැඩි කරගැනීමට පමණක් නොව, දුම්කොළ භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය පිරිවැය සහ අනෙකුත් අහිතකර සාමාජික-ආර්ථික බලපෑම් අවම කරගැනීම සඳහා බවද ඔහු සඳහන් කළේය.

2023 වසරේ සිට මේ දක්වා සිගරට් සඳහා වන සුරාබදු සිව්වතාවක් ඉහළ නංවා ඇති අතර, එකතු කළ අගය මත බද්ද (VAT) සහ ආයතනික ආදායම් බදු අනුපාත ද සංශෝධනය කර තිබේ.

ඒ අනුව 2023 ජනවාරි 1 වන දින සුරාබද්ද 20%කින් ද, 2023 ජූලි 1 වන දින තවත් 20%කින් ද ඉහළ නංවන ලදී. පසුව උද්ධමන දර්ශක යාන්ත්‍රණය යටතේ 2024 ජනවාරි 1 වන දින එය 14%කින් ඉහළ දැමූ අතර, 2025 ජනවාරි 11 වන දින තවත් 5.9%කින් වැඩි කෙරිණි.

මේ අතර, 2024 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි VAT බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමූ අතර, 2025 අප්‍රේල් 1 වන දින සිට ආයතනික ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කරන ලදී.

2025 ජනවාරි 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක සිගරට් සඳහා වන සුරාබද්ද ගණනය කරන්නේ සිගරට් එකක දිග පදනම් කරගෙන වන අතර, එම බදු ප්‍රමාණය සිගරට් එකක් සඳහා රුපියල් 26.59 සිට රුපියල් 109.95 දක්වා පරාසයක පවතී.

දුම්කොළ බදු ඉහළ නැංවීම මගින් සෘජු හා වක්‍ර බදු ආදායම ක්‍රමයෙන් ඉහළ යාමට දායක වී ඇති අතරම, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ රජයේ ආදායම් කළමනාකරණය යහපත් කිරීමට ද එමගින් පිටිවහලක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.