August 25, 2026

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන මස නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය වසර හතකට පසුව ඔහු ඉන්දියාවේ සිදුකරන පළමු සංචාරය වන අතර, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුද යම්තාක් දුරකට සමනය වෙමින් පවතින බවට ලැබෙන සුබවාදී සංඥාවක් ලෙස ද විචාරකයෝ හඳුන්වති.

ලබන සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල ඉන්දියාවේ මෙහෙයවීමෙන් මෙම සමුළුව පැවැත්වේ.

2020 වසරේදී දෙරට අතර ඇතිවූ දරුණු හිමාලයානු සීමාන්තික ගැටුම්වලින් පසු රාජ්‍ය නායකයන් අතර සබඳතා යථා තත්ත්වයට පත්කර ගැනීමට දරන උත්සාහයන් හමුවේ ෂී ජින්පින්ගේ මෙම පැමිණීම ලෝකයේ දැඩි අවධානයට ලක්වනු ඇත.

“චීන නිලධාරීන් මේ වන විටත් හෝටල් පහසුකම් සහ ආරක්ෂක විධිවිධාන අවසන් අදියර දක්වා සම්පූර්ණ කරමින් සිටිනවා,” යනුවෙන් සිදුවීමට සෘජුව සම්බන්ධ ඉන්දියානු ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

පසුගිය වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද වසර හතකට පසු ප්‍රථම වතාවට චීනයේ සංචාරය කළද, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත්වූයේ ඉතා මන්දගාමීවය. මෑතකදී ද නැවත වරක් දෙරට අතර පැනනැගුණු දේශසීමා ආරවුලක් හේතුවෙන් උණුසුම් රාජ්‍යතාන්ත්‍රික මතභේද ඇතිවිය.

තවත් ඉන්දීය ආරංචි මාර්ග දෙකක් තහවුරු කර ඇත්තේ, 2019 වසරේ පැමිණි 200 කට ආසන්න නියෝජිත පිරිසට සාපේක්ෂව මෙවර ජනාධිපති ෂී ජින්පින් සමඟ 400 කට ආසන්න විශාල නියෝජිත පිරිසක් පැමිණීමට නියමිත බවයි.

දීර්ඝ කාලීන දේශසීමා ගැටලු සහ කලාපීය ආරක්ෂක අභියෝග කළමනාකරණය කරගනිමින්, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමේ මාර්ග පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට දෙරටේම නිලධාරීන් අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, ෂී ජින්පින්ගේ අවසාන සංචාරක සැලැස්ම හෝ ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳ න්‍යාය පත්‍රය මෙතෙක් අවසන් කර නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, චීනය බ්‍රික්ස් සංවිධානයේ සහයෝගීතාව සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන අතර, මෙවර සමුළුවේ සභාපතිත්වය උසුලන ඉන්දියාවට එය සාර්ථකව පැවැත්වීම සඳහා පූර්ණ සහය ලබාදෙන බවයි.

නමුත් ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් මේ මොහොතේ ලබාදීමට තොරතුරු කිසිවක් නොමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය. 2025 වසරේ බ්‍රසීලයේ පැවැති බ්‍රික්ස් සමුළුවට ද ෂී ජින්පින් සහභාගී වූයේ නැත.

මේ අතර, මෙම වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැළකී සිටියේය.