August 23, 2026

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් විසින් මීටර් 100 තරගයක තබා තිබූ තත්පර 9.58ක ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත හියුමනොයිඩ් (Humanoid) රොබෝවක් සමත්ව තිබේ.

බෙයිජිං නුවර පැවැත්වෙන ලෝක හියුමනොයිඩ් රොබෝ ක්‍රීඩා උළෙලේදී ‘Tiangong Ultra’ නම් රොබෝවා මීටර් 100 තරගයක් තත්පර 9.39කින් නිම කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

2009 වසරේ බර්ලින් හි පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී උසේන් බෝල්ට් තැබූ තත්පර 9.58ක ලෝක වාර්තාව මෙහිදී රොබෝවරුන් දෙදෙනෙකු විසින්ම අභිබවා යන ලදී.

‘Honor’ සමාගම මගින් නිෂ්පාදිත ‘Lightning’ නම් රොබෝව තත්පර 9.47කින් තරගය නිමා කරමින් දෙවැනි ස්ථානය දිනාගත්තේය.

ඊට පෙර පැවැති පෙරහුරුවකදී මෙම රොබෝව තත්පර 9.32ක කාලයකින් මීටර් 100 නිමකර තිබිණි.

තරගය නිමා වූ සැනින් වේගය පාලනය කරගත නොහැකි වූ ‘Tiangong’ රොබෝව තරග තීරකයන් දෙසට කඩා වැටුණු අතර, දෙවැනි ස්ථානය ගත් ‘Lightning’ රොබෝව බිම ඇදවැටීම නිසා ඔහුව ස්ට්‍රෙචරයක තබා ඉවත් කිරීමට සංවිධායකයන්ට සිදුවිය.

පසුගිය වසරේ පැවැති තරගාවලියේදී මෙම මීටර් 100 තරගය නිමා කිරීමට Tiangong රොබෝවාට තත්පර 21.50ක කාලයක් ගතවූ අතර, වසරක් ඇතුළත රොබෝ තාක්ෂණය ලබා ඇති දියුණුව මෙම අලුත් වාර්තාවෙන් මනාව පැහැදිලි වේ.

රටවල් 16ක කණ්ඩායම් 666කින් රොබෝවරුන් 2,056 දෙනෙකු සහභාගී වන මෙම රොබෝ ක්‍රීඩා උළෙලට පාපන්දු, නර්තන ඇතුළු තරග ඉසව් 51ක් ඇතුළත් වේ.

චීනය විසින් හියුමනොයිඩ් රොබෝ තාක්ෂණය සිය රටේ ප්‍රධාන උපායමාර්ගික කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටී.