January 1, 2026

2026 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං බෙයිජිං නුවර සිට ලෝකවාසී ජනතාව වෙත සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ලෝකයේ ඇතැම් ප්‍රදේශයන්හි තවමත් ගැටුම්කාරී තත්ත්වයන් පැවතියද, ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරන චීනය, සෙසු රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානමින් සිටින බව ඔහු සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන්කර තිබේ.

රටක් ජවසම්පන්න වනුයේ පාලක පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත්, දැඩි විනයකින් යුතුව, විශ්වාසය ගොඩනංවා පක්ෂ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරමින් දූෂණය ඉවත්කර පක්ෂ හා පාලන ආචාරධර්ම දිගින් දිගටම ශක්තිමත් කළ යුතු බවද චීන ජනපතිවරයා පවසා ඇත.

චීනයේ ’15 වැනි පස්අවුරුදු’ සැලැස්මේ ආරම්භක වසර වන 2026 වසරේදී ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදාකර දෙමින් විශ්මයෙන් පිරි නව පරිච්ඡේදයක් වෙනුවෙන් චීනය කැප වන බව ද ජනාධිපතිවරයාගේ පණිවිඩයේ දැක්වෙයි.

අඛණ්ඩව නව ඉහළ මට්ටමකට පිවිස ඇති වත්මන් චීන ආර්ථිකය 2025 වසරේදී චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙන අතර ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳ ගැනීමට චීනය සූදානම් බවත් ෂී ජින්පිං පවසයි.

එමෙන්ම ඉදිරියට ඇත්තේ දිගු ගමනක් වුවද අධිෂ්ඨානශීලීව එම මාවතෙහි යමින්, නොපසුබට ධෛර්යෙන්, ජවසම්පන්නව හා නොනවතින උත්සාහයෙන් අරගල කරන බවත් චීන ජනපතිවරයා නව වසරට සිය සුබ පැතුම් එක් කරමින් අවධාරණය කර තිබේ.