July 13, 2023

චීනය සහ හොංකොං අතර දේශසීමා මුරපොළකදී “අමුතු” ශරීර හැඩයකින් යුත් කාන්තාවක් දැක ඇයව පරික්ෂා කිරීමට එහි සිටි රේගු නිලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව විශේෂ පරිපාලන කලාපයට යාබද ෂෙන්සෙන් නගරයේ Futianහි නිලධාරීන් විසින් මෙම කාන්තාවගේ උඩුකය යට ඇඳුමේ ‘බඩ ඉරිඟු සර්පයන්’ ලෙස හැඳින්වෙන සර්පයන් පස්දෙනෙක් සඟවා ඇති බවට සොයා ගෙන තිබේ.

මෙම අසාමාන්‍ය උරග වටලෑම පිළිබඳ පුවත් චීන රේගුව විසින් ජූලි 08 වැනිදා එහි නිල WeChat ගිණුමේ පළ කර ඇත.

ඇයගේ තනපටය තුළ සජීවී සර්පයන් පහක් මේස්වල ඔතා සඟවාගෙන සිටි බව ඔවුන්ට හමුව ඇති අතර, පසුව නිලධාරීන් විසින් සර්පයන් අදාළ බලධාරීන්ට භාර දී තිබේ.

චීන සුරතල් සතුන්ගේ කර්මාන්ත සංගමය විසින් අධීක්ෂණය කරන විශ්ලේෂණ සමාගමක් වන Pethadoop 2021 සඳහන් කර ඇත්තේ, චීනයේ මිලියන දස ගණනක සුරතල් සතුන් හිමිකරුවන්ගෙන් සියයට 5.8ක් උරග එකතුකරන්නන් වන බවය.

මෙම බඩ ඉරිඟු සර්පයා අග්නිදිග එක්සත් ජනපදයට ආවේණික වන අතර, එම සතුන් මෘදු ස්වභාවය සහ අලංකාර වර්ණ නිසා චීන සත්වලෝලීන් අතර ජනප්‍රිය වී ඇත.

චීනයේ රේගු රෙගුලාසි වලට අනුව, විදේශයන්ගෙන් ආනයනය කරන සතුන් පිළිබඳව ප්‍රකාශ කළ යුතු අතර, පාරිසරික හානිය සහ විදේශීය රෝග සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නිරෝධායන පරීක්ෂණවලට භාජනය කළ යුතු වේ.

චීන රේගුව විසින් රාජසන්තක කරන ලද අමුතු භාණ්ඩ පිළිබඳ කථාවලින් සමාජ මාධ්‍ය විනෝද වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ජූනි මාසයේදී Futian වරායේදී Nintendo Switch ක්‍රීඩා කාඩ්පත් 112ක් සපත්තු තුළ සඟවාගෙන අසු වූ පුද්ගලයෙක් ඒ අතර වේ.

ඒ අතරම, ජනවාරි මාසයේදී, ෂෙන්සෙන් සහ හොංකොං අතර මායිමේ Chung Ying Street හි කාන්තාවක් “අමුතු” ආකාරයෙන් ඇවිදිමින් සිටින බව රේගු නිලධාරීන් දැක ඇති අතර, පසුව සොයා බැලීමේදී හසු වී ඇත්තේ ඇයගේ යට ඇඳුමේ සඟවා තිබූ SD කාඩ්පත් 2,415කි.

එමෙන්ම පසුගිය මාසයේදී ද තර්ජනයට ලක්ව ඇති විශේෂයක් සහ ජනප්‍රිය විදේශීය සුරතල් සතෙක් වන සජීවී බෝල පිඹුරන් හය දෙනෙක් තම කපු මේස්වල සඟවා ගෙන යෑමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.