August 24, 2023

ජපානය ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී අපජලය පැසිෆික් සාගරයට මුදාහැරීම අද සිට ආරම්භ කිරීමත් සමග චීනයේ රේගු බලධාරීන් ජපානයෙන් මුහුදු ආහාර ආනයනය තහනම් කර ඇත.

මෙම අපජලය බැහැර කිරීම ජපානය සිදුකරන ඉතාමත් ආත්මාර්ථකාමී සහ වගකීම් විරහිත ක්‍රියාවක් බවට චීනය විවේචන එල්ල කර තිබේ.

දේශීය වේලාවෙන් පස්වරු 01.00ට පමණ එම ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ද වාර්තා සඳහන් කරයි.

ජපානය කියාසිටින්නේ මෙම ජලය මුදාහැරීම තුළින් පරිසර හානියක් හෝ අනාරක්ෂිත තත්ත්වයක් ඇති නොවන බවයි.

එහෙත් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ “හරිත එළිය” සැලැස්ම හරහා පෙන්වා දී ඇත්තේ, මෙමගින් සිදු වන මානව සහ පාරිසරික බලපෑම සුළුපටු නොවන බවයි.

මෙමගින් වෙළෙඳපොළ අපනයන සීමාකිරීම් සහ විකුණුම් අලාභයකට මුහුණපෑමට සිදුවෙතැයි ජපන් ධීවර ප්‍රජාව බියට පත්ව ඇති බව ද වාර්තා වේ.

චීනය පාලනය කරන හොංකොං සහ මැකාවු ප්‍රදේශවලට අද දින සිට ටෝකියෝ අගනුවරින් හා ෆුකුෂිමා ප්‍රදේශයෙන් ජපන් මුහුදු ආහාර ගැනීම තහනම් කර ඇත.

චීන රේගුව නිවේදනය කළේ ජපානයේ සියලුම ජලජ නිෂ්පාදන ආනයනය නතර කරන බවයි.

පාරිභෝගිකයන් මෙන් ම චීනය ඇතුළු කලාපීය රටවල් කිහිපයක් ම මෙම ක්‍රියාවට දැඩි විරෝධතාව පළකර තිබේ.

සාගර පරිසරය, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා අතරම ජලයේ විකිරණ මට්ටම නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්කරන බව චීනය ප්‍රකාශ කර තිබේ.