April 27, 2024

ඇළකට වැටී කුඩා දරුවකු මියයාමේ පුවතක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහපුර ජයවික්‍රම ගම්මානයෙන් වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස දහයක් වයසැති පිරිමි දරුවෙකි.

දරුවා නිවස අසලින් දිවෙන ඉසෙඩ් ඩී ඇළේ අතු ඇලකට වැටී ඊයේ දහවල් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද සිංහපුර ජවික්‍රම ගම්මානයේ අංක 27 ලිපිනයේ පදිංචිව සිටි E.M ඉසුරු ජයනත් බණ්ඩාර නම් වු කුඩා පිරිමි දරුවෙකි.

මියගිය දරුවා සිය වැඩිමහල් සහෝදරිය සමග නිවසේ සිට ඇති අතර ඇය මුළුතැන් ගෙට ගොස් සිටි අවස්ථාවක දරුවා ඇල අසලට පැමිණි ඇතැයි අනාවරණ වී තිබේ.

එම අවස්ථාවේදී දරුවා ඇළට වැටී ඇතැයි අනාවරණ වී තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දරුවා මව සමඟ නිතරම ඇළට පැමිණෙන බව හා දරුවා ඇළට පැමිණීම වළක්වා ගැනීම සඳහා නිවැසියන් නිවස වටා කුඩා ආරක්ෂිත වැටක්ද ඉදිකර ඇති බවයි.

ඊයේ දිනයේ එම වැටේ ගේට්ටුව විවෘත කර තිබීම හේතුවෙන් දරුවා එකවරම ඇළ අසලට පැමිණෙන්නට ඇති බවට සැකකෙරේ.

දරුවා අතුරුදන්ව සිටීම නිසා නිවැසියන් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව දරුවා සොයා ඇති නමුත් හමුවී නොමැත.

පැයකට පමණ පසුව නිවසට කිලෝමීටර එකහමාරක් පමණ දුරින් දරුවෙක් ඇලේ ගසාගෙන යනු දුටු මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් දරුවා ගොඩට ගෙන තිබේ.

එම අවස්ථාව වනවිටත් දරුවා මියගොස් සිටි බව ද ප්‍රදේශවාසීහු පවසති.

දරුවා වැලිකන්ද රෝහලට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් ද ප්‍රකාශ කර ඇත්තේ දරුවා මිය ගොස් ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මව එම පවුලේ දෙවැනි දරුවා සමග එම දරුවාගේ පාසලේ කටයුත්තකට සහභාගි වී සිටි ඇති බව ද වාර්තා වෙයි.