August 12, 2023

“මට හිරු නැතුව පාළුයි. මගේ සිරකුටියේ හිරු එළිය ජනේලයෙන් ඇතුළට එනවා, නමුත් මට හිරු එළිය ලැබෙන්නේ වසරකට පැය 10ක් පමණයි. මම අවුරුදු 3කින් ගහකොළ දැකලා නෑ” මෙසේ පවසන්නේ මීට වසර තුනකට පෙර චීනයේදී අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනී චෙං ලේයි ය.

ඇය ගෙවීගිය වසර 03 ගතකර ඇත්තේ චීනයේ බන්ධනාගාරයකය. සිර ජීවිතයේ කටුක අත්දැකීම් සහ ඕස්ට්‍රේලියාව ඇයට කොතරම් මග හැරුණාදැයි යන්න විස්තර කරමින් චෙං ලේයි ලියූ ලිපියක් මේ වන විට බන්ධනාගාරයෙන් පිටතට පැමිණ තිබේ. එපමණක්ද නොව එම ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.

චෙං ලේයි විසින් ලියන ලද එම ලිපිය චීනයේ බීජිං අගනුවර ඔස්ට්‍රේලියානු කොන්සියුලර් කාර්යාලයේ නිලධාරියකු හරහා ඇගේ සහකරු වන නික් කොයිල් වෙත යවා තිබේ.

ඇය විසින් සේවය කරනු ලැබූ චයිනා ග්ලෝබල් රූපවාහිනි සේවයේ රැකියාව කරමින් චීන රජයේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ පුවත් ප්‍රචාරය කිරීමේ චෝදනාවට චීන බලධාරීන් විසින් චෙං ලේයි මෙලෙස සිරගත කර ඇත.

රාජ්‍ය රහස් ප්‍රචාරය කිරීමේ වරදට අත්අඩංගුවට පත් වූ පළමු මාස 06දී ඉතා රහසිගත ස්ථානය රැඳවුම් භාරයේ තැබූ බව කියන මේ ජනමාධ්‍යවේදිනිය එම කාලය ඇතුළත ඇගේ පවුලේ සාමාජිකයන්ට හෝ නීතිඥවරුන්ට පවා දැක බලා ගැනීමට අවසර නොලැබුණු බවත් වාර්තා සඳහන් කරයි.

චීන රජයට අනුව මෙම වරද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි එකකි. එහි අවම දඬුවම වසර 05ක් බව කියැවේ.

ඕස්ට්‍රේලියාවේ සිටින ඇගේ සහකරු සහ පවුලේ සාමාජිකයන්ගේ එකම අපේක්ෂාව ඇය වසර 05කින් නිදහස ලබා නැවත මව්රට පැමිණෙනු ඇති බවය.

එහෙත් චෙං ලේයිට එරෙහි චෝදනා පිළිබඳ තොරතුරු කිසිවක් චීන බලධාරින් විසින් හෙළිදරවු කර නැත. එමනිසා ඇගේ සිර දඬුවම් කාලසීමාව පිළිබඳ කිසිවකුට නිශ්චිතව තහවුරු කළ නොහැකි බවත් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.