August 7, 2026

අයුතු අවහිර කිරීම සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වසර එකහමාරක සිර දඬුවමක් නියම වී ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තු සැසියට සහභාගී වී තිබේ.

අදාළ සිර දඬුවම විඳිමින් සිටින මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිමිවන වරප්‍රසාද යටතේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ බන්ධනාගාර වෑන් රථයකින් පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනයක බණ්ඩාරවෙල නගරයේ වටරවුම ආසන්නයේ සිදුවූ සිද්ධියකට අදාළව චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහිව බදුල්ල මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බදුල්ල මහාධිකරණය තීන්දු කළේ, චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකට වැරදිකරුවන් බවයි. එමෙන්ම ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකට වැරදිකරු කර තිබුණේය.

නඩු විභාගයේදී අනාවරණය වී තිබුණේ, බණ්ඩාරවෙල නගරයේදී පොලිස් ජීප් රථයක් විසින් මන්ත්‍රීවරයා ගමන් කළ ජීප් රථය ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇති වූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බවයි.

කෙසේ වෙතත්, නඩු තීන්දුවෙන් අනතුරුව චමින්ද විජේසිරි මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර, මන්ත්‍රී ධුරයට අදාළ වරප්‍රසාදයක් ලෙස පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීමට ඔහුට අවස්ථාව හිමිව තිබේ.