September 13, 2026

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස් 2027 ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බව ඉන්දියාවේ ‘Sportstar’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙම පත්වීම සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැති වුවද, වාස් මේ වන විටත් නවදිල්ලියේ පැවැත්වෙන එම කණ්ඩායමේ පූර්ව සූදානම් කිරීමේ කඳවුරට සහ තේරීම් පරීක්ෂණ සඳහා එක්ව සිටී.

51 හැවිරිදි වාස්, ටෙස්ට් තරඟ 111 කදී කඩලු 355 ක් සහ එක්දින තරඟ 322 කදී කඩලු 400 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඔහු 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වූ අතර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව පුහුණුකරුවකු ලෙස ක්ෂේත්‍රයේ විවිධ තනතුරු හොබවා ඇත.

හිටපු ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්රා ද දඟපන්දු පුහුණුකරු ලෙස මෙම කණ්ඩායමට එක්ව සිටින බව ‘Sportstar’ වැඩිදුරටත් වාර්තා කරයි.

2027 IPL තරඟාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ පුළුල් වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත අතර, හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ප්‍රධාන පුහුණුකරු ලෙසත්, යුවරාජ් සිං සහකාර පුහුණුකරු ලෙසත් එක්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මෙම පත්වීම් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.