December 2, 2023

තමන් පාසලෙහි දණගස්වා හිරිහැර කිරීම සම්බන්ධයෙන් එවකට ඌව පළාත් මහ ඇමැතිවරයාව සිටි වත්මන් රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායකගෙන් වන්දි ඉල්ලා විදුහල්පතිනියක ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම එම විදුහල්පතිනිය විසින්ම ඉල්ලා අස් කරගෙන ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගනු ලැබුවේ දෙපාර්ශවය විසින් සමථ මණ්ඩලය හමුවේ ඇති කරගත් සමථයන් අනුවය.

මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලා ඇත.

බදුල්ල දෙමළ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වන භවානි රගුනාදන් විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට ඌව පළාත් මහ ඇමැතිවරයාව සිටි වත්මන් රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් නම් කර තිබේ.

2018 වසරේදී එවකට ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල දෙමළ මහ විද්‍යාලයට පැමිණ තමන්ට තර්ජනය කර දණගස්වා තමන් අපකීර්තියට පත්කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කාර විදුහල්පතිනිය මෙම පෙත්සම ගොනුකර ඇත.

පෙත්සම්කාර විදුහල්පතිනිය වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල පෙනීසිට තිබේ.

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන පෙනීසිට ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉදුනිල් පුංචි හේවා පෙනීසිට තිබේ.(ලංකාදීප)