May 5, 2024

ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාවක් කෙටුම්පත් කරමින් සිටින අතර, එය මේ මස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ජුනි මාසයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ආරංචි මාර්ග පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන The Sunday Morning වෙත පවසා ඇත්තේ, යෝජනාව ඉදිරිපත් කළ පසු, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන දත්ත මත පදනම්ව ගාස්තු තීරණය කරනු ඇති බවයි.

ජූනි 1 වැනිදා සිට නව ගාස්තු ක්‍රියාත්මක වන්නේ දැයි විමසූ විට ලේකම්වරයා පවසා ඇත්තේ, එම ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මක වන බැවින් අදහස් දැක්වීම අපහසු බවයි.

“ජුනි 1 වැනිදා සිට නව ගාස්තු ක්‍රියාත්මක වේ දැයි අපිට කියන්න බැහැ. නමුත් ලංවිම දැනට එහි වියදම් ගණනය කිරීමේ යෝජනාවක් සකස් කරමින් සිටිනවා” ඔහු සඳහන් කර ඇත.

මෙම විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ ව්‍යාපෘති කල් දමමින් ලංවිම සිය මූල්‍ය උපාය මාර්ගය සකස් කර ඇති බව වාර්තා වේ.

ආර්ථික අර්බුදයෙන් රට යම් පමණකට නිදහස්වී ඇති බැවින් ජනතාවට සහන ලබාදීම ආරම්භ කර ඇති බව රජය ප්‍රකාශ කරයි.

මෙම වසර අවසානයේ මැතිවරණයක් පැවැත්වීමටද නියමිතව තිබේ.