August 31, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර් මස 12 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද විභාගය සඳහා මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලවගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී වගඋත්තරකාර රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සේනානි දයාරත්න, අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ නාමයෝජනා පත්‍රය භාරදෙන අවස්ථාවේදී සිය සේවාදායකයා රජයේ සේවකයකු වශයෙන් කටයුතු කළේදැයි අර්ථකථනය කිරීම සඳහා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව රජයේ සේවකයකු වශයෙන් අර්ථකථනය කිරීමට නම් යම් අයකු රජයේ නිල තනතුරක් දැරිය යුතු බවත් ඒ සඳහා ඔහු වෙත ගෙවීමක් සිදුකර තිබිම අත්‍යවශ්‍ය බවත් නීතිඥවරයා සඳහන් කළේය.

එහෙත් මෙම වගඋත්තරකරු නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඔහු වැඩ තහනමට ලක්ව සිටිම නිසා එම අවස්ථාවේදී ඔහු කිසිදු රජයේ ධූරයක් නොදැරූ බව පෙන්වාදුන් නීතිඥවරයා, වැටුප් රහිත වැඩ තහනමකට ලක්ව සිටි නිසා එම අවස්ථාවේදී ඔහුට රජයෙන් කිසිදු ගෙවීමක් ලබාගෙන නොතිබූ බවත් සඳහන් කළේය.

ඒ නිසා නාම යෝජනා පත්‍ර භාරදෙන අවස්ථාව වන විට වගඋත්තරකාර රාමනාදන් අර්චුනා රජයේ සේවකයකු වශයෙන් කටයුතු නොකළ බවත්, මීට අදාළව ව්‍යවස්ථාපිත අර්ථකථනයක් ලබාගැනීම සඳහා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකරන ලෙසත් නීතිඥ සෙනානි දයාරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළකළ පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ අශෝක බරන්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩ තහනමට ලක්වීමට පෙර මෙම වගඋත්තරකරු රජයේ සේවකයකු වශයෙන් කටයුතු කළ බව පෙන්වාදුන්නේය.

මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අභියාචනාධිකරණයට බලයක් තිබෙන බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීම අවශ්‍ය නොවන බවත් මෙහිදී නීතිඥවරයා සඳහන් කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම කරුණ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවයි.

ඉන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් විභාගය පැවැති අතර එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිට නීතිඥවරයා කරුණු දැක්වීම් සිදුකළේය..

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 12 වැනිදා සහ 13 වැනිදා යන දිනවල පැවැත්වීමටද අධිකරණය විසින් දින නියම කරනු ලැබීය.