March 8, 2024

පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, මෙවන් නිර්මාණ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බවත්, රට තුළ ස්ථාපිත වී ඇති නිදහස මෙමඟින් තහවුරු වන බවත්ය.

ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක මෙවන් නිර්මාණ බිහිනොවන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ද සඳහන් කළේය.

පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අද අප රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටස බව ද පැවැසීය.

අසීරු සමයක, සිතට සතුටක් ගෙන එමින් මෙම සියලු විකට නිර්මාණ සිදු කළ නිර්මාණ ශිල්පීන්ට සිය ස්තූතිය පුදකිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් දා සිට ඔහුගේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් නිර්මාණ 618ක් පමණ එක් කර මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් මෙහිදී කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයන් ද මෙහිදි ජනාධිපතිවරවයා අතින් ඇගැයීමට ලක් විය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා සහභාගී වූ අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදුකරනු ලැබීය.(PMD)