June 18, 2026

මෙවර 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ කැපීපෙනෙනම පෙරළියක් කරපු කේප් වර්ඩ් කියන කුඩා දූපත් රාජ්‍යයේ 40 හැවිරිදි සුපිරි ගෝල් රකින්නා වන ‘වොසීනියා’ ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා. ඒකට හේතුව ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ පැවැති මැච් එක 0-0 ක් ලෙස සම කරමින් එයා කරපු සුපිරි ගෝල් බේරාගැනීම් විතරක්ම නෙවෙයි, ඊට පස්සේ සිද්ධ වෙච්ච මාරම ආදරණීය කතාවක්.

ලෝක කුසලාන ඉතිහාසයේ ලොකුම පෙරළියක් කරලා ලෝකෙම අවධානය දිනාගත්තට පස්සේ, ජනමාධ්‍යවේදීන් වොසීනියාගෙන් ඇහුවා මේ සතුට සමරන්න අම්මා ඇවිත් නැද්ද කියලා. එතකොටයි වොසීනියා හෙළි කළේ, ඇමෙරිකාවට ඇතුළු වෙන්න වීසා බලපත්‍රයක් ගන්න ගෙවන්න ඕන ලොකු ඇප මුදල ගෙවාගන්න බැරිවුණු නිසා තමන්ගේ ආදරණීය අම්මා, ආනා කැන්ඩිඩා එවෝරාට මේ ඓතිහාසික මොහොත දකින්න එන්න බැරිවුණා කියලා.

මේ සංවේදී කතාව ඇහුණ ගමන්ම ක්‍රියාත්මක වුණු ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නායක හකීම් ජෙෆ්රිස්, වහාම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ වෙත විශේෂ ඉල්ලීමක් කළා. සාමාන්‍යයෙන් ඇමෙරිකානු දේශපාලනයේ එකිනෙකාට විරුද්ධ පක්ෂ දෙකක වුණත්, මේ මානුෂීය වැඩේදී ඔවුන් දෙන්නම එකතු වුණා.

ඒ අනුව, රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් වොසීනියාගේ අම්මාට වීසා සඳහා ගෙවන්න තිබුණු සියලුම ගාස්තු සම්පූර්ණයෙන්ම කපාහැරලා, ඇයට ඇමෙරිකාවට එන්න ක්ෂණිකව වීසා බලපත්‍රය ලබාදීලා තියෙනවා.

මේ සුභ ආරංචිය සමාජ මාධ්‍ය හරහා රටටම කියපු හකීම් ජෙෆ්රිස් මෙහෙම කියලා තිබුණා:

“ලබන ඉරිදා මියාමි නුවර පැවැත්වෙන ඊළඟ තරඟයට කලින් වොසීනියා සහ ඔහුගේ මව නැවත එකතු වන බව මම සතුටින් කියනවා. මේ වැඩේ සාර්ථක කරන්න උදව් කරපු රාජ්‍ය ලේකම් රූබියෝට, රාජ්‍ය දෙපාර්තමේන්තුවට වගේම ෆිෆා ආයතනයටත් මගේ ස්තුතිය!”

ලබන ඉරිදා Group H යටතේ කේප් වර්ඩ් කණ්ඩායම ප්‍රබල උරුගුවේ කණ්ඩායමට එරෙහිව පිටියට බහින්නේ තමන්ගේ අම්මා ස්ටේඩියම් එකේ ඉඳන් දෙන හයියත් එක්කයි. බලමුකෝ අම්මාගේ ආශිර්වාදය එක්ක වොසීනියා ඊළඟ මැච් එකේදීත් ආයෙත් ලෝකයම හොල්ලන පෙරළියක් කරයිද කියලා.