September 9, 2026

ව්‍යාපාර, අධ්‍යාපනය, සමාජ මාධ්‍ය සහ විනෝදාස්වාදය ආදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රමුඛතම ජාත්‍යන්තර භාෂාව ලෙස සැලකෙන්නේ ඉංග්‍රීසිය.

ලෝක ජනගහනයෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම මෙම පොදු භාෂාව සක්‍රීයව භාවිත කරයි.

කෙසේ වෙතත්, චීනයේ වීජ ගණිතය පිළිබඳ විශේෂඥතාවක් සහිත ගණිත මහාචාර්යවරයෙකු වන ටෑන්ග් ජියාෆෙං විසින් ඉංග්‍රීසි භාෂාවේ මෙම ආධිපත්‍යයට ප්‍රබල ලෙස අභියෝග කර තිබේ. ප්‍රාථමික, ද්විතීයික සහ විශ්වවිද්‍යාල මට්ටමේ ප්‍රධාන අනිවාර්ය විෂය ලැයිස්තුවෙන් ඉංග්‍රීසි විෂය ඉවත් කළ යුතු බව මහාචාර්ය ටෑන්ග් විශ්වාස කරයි.

ලොව වෙනත් කිසිදු රටක් ඉංග්‍රීසි භාෂාවට චීනය තරම් අධික ප්‍රමුඛතාවයක් දී නොමැති බව ඔහු පෙන්වා දෙයි.

“අපේ දරුවන් තමන්ගේ මව් භාෂාව නිසි ලෙස ප්‍රගුණ කිරීමටත් පෙර ඉංග්‍රීසි ඉගෙන ගැනීමට දැඩි ලෙස වෙහෙසෙනවා. නමුත් අප වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ශිෂ්ටාචාරයක්. ඉංග්‍රීසි කියන්නේ හුදෙක් මෙවලමක් විතරයි. එය භාවිත කිරීමට හැකිවීම පමණක් ප්‍රමාණවත්. බටහිර සංස්කෘතියට ගරු කිරීමේ සහ එය අනුකරණය කිරීමේ සංස්කෘතිය දැන්වත් අවසන් විය යුතුයි,” යනුවෙන් මහාචාර්ය ටෑන්ග් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.

චීන භාෂාව අක්ෂර මාලාවක් මත පදනම් නොවූවක් බැවින්, චීන ජාතිකයින්ට ඉංග්‍රීසි ඉගෙනීම තරමක් දුෂ්කර කර්තව්‍යයක් ලෙස සැලකේ. චීනයේ තුන්වන වසරේ සිට ඉංග්‍රීසි අනිවාර්ය විෂයක් වන අතර, ද්විතීයික පාසල් ප්‍රවේශ විභාගයේදී සහ උසස් පාසල් අවසාන විභාගයේදී ඉංග්‍රීසි විෂයට ද චීන භාෂාවට සහ ගණිතයට හිමිවන තරම්ම සමාන ලකුණු මට්ටමක් හිමිවේ. උසස් පාසල් අවසාන විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා හිමිවන උපරිම ලකුණු සංඛ්‍යාව 150කි.