October 5, 2026

තායිවාන ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු රහසිගතව රැස්කර චීන රජයට ලබාදුන් බවට චෝදනා ලැබූ ඇමෙරිකානු ජාතික කාන්තාවක FBI නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලිෆෝනියා හි රියල් එස්ටේට් නියෝජිතවරියක වන ඇය, චීනය බලා පිටත්ව යාමට ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

චීනය සහ ඇමෙරිකාව අතර තායිවාන අර්බුදය මුල්කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක නොසන්සුන්තාව ඉහළ ගොස් ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී තිබේ.

ස්වයං පාලනයක් සහිත තයිවානය තමන් සතු භූමියක් ලෙස චීනය අඛණ්ඩව ප්‍රකාශ කරයි.

එෆ්.බී.අයි. ආයතනය පවසන්නේ ‘හෙදර්’ යන නමින්ද පෙනී සිටි 34 හැවිරිදි වෙනිං ෂැං නමැති මෙම කාන්තාව, තයිවාන ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් ටිං-යූ ලායි ඉලක්ක කරගනිමින් ඔත්තු බලා ඇති බවයි.

සියැටල් හි ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන ඔහු පදිංචි නිවස නිරීක්ෂණය කරමින්, එහි ඡායාරූප, වීඩියෝ මෙන්ම ඔහු භාවිත කරන වාහනවල අංක තහඩු පිළිබඳ තොරතුරු චීන නිලධාරියෙකු වෙත යවා ඇති බවට අනාවරණය වී ඇත.

ඇමෙරිකානු ප්‍රජා අයිතිය හිමි ඇයට එරෙහිව ලියාපදිංචි නොවූ විදේශීය ඔත්තුකාරියක ලෙස කටයුතු කිරීමේ චෝදනා එල්ල කර ඇති අතර, ඇය ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.