October 10, 2024

ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රුපියල් බිලියන 1.84කට අධික අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අද අධිකරණය හමුවේ මෙම අධි චෝදනා ගොනු කළ අතර විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසත් විදෙස් ගමන් සඳහා අවසර ලබාගන්නා ලෙසත් දනවමින් කොළඹ මහාධිකරණය ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.

2012 වසරේ ග්‍රීසියේ රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට අදාළ නඩුවෙන් කොළඹ මහාධිකරණය විසින් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරනු ලැබුවේ මේ වසරේ මැයි මාසයේදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ගොනු කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළේය.

ග්‍රීසිය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින විට 2012 දී එම රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව විසින් මිලදී ගෙන ඇති බව සේනසිංහ සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ග්‍රීසිය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳ දැන සිටියද මහ බැංකුව මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවට චෝදනා කළ සේනසිංහ, එමගින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.84කට අධික පාඩුවක් සිදුව ඇති බවද පැවසීය.

එම පැමිණිල්ලට අදාළ විමර්ශනවලින් අනතුරුව විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල්, කංකානම්ගේ ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්දරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කෙරිණි.

 

42.31%
17.27%
32.76%