November 23, 2025

2022 මැයි 9 වැනිදා මෙරට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළවලට සිදු වූ හානි සඳහා තක්සේරු වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු රැසක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.

ඒ, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පිළිබඳ සිය නවතම විගණන වාර්තාව මගිනි.

ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයකට අනුව, මූලික තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු, ප්‍රධාන තක්සේරුකරු තක්සේරු මුදල් 22–158% පරාසයක් තුළ වැඩි කර ඇති බව අනාවරණ වී තිබේ.

කැබිනට් තීරණ, ජනාධිපති නියෝග සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කරන ලද ඉල්ලීම් මෙන්ම දේපළ හිමියන්ගේ ඉල්ලීම් ද සැළකිල්ලට ගනිමින් මෙම ගැළපීම් සිදු කර ඇත.

මුල් වාර්තා හා සසඳන විට දේපළ තක්සේරු කිරීම් 16ක පසුකාලීන තක්සේරු වාර්තාවල මුළු තක්සේරු මුදල 51% කින් වැඩි වී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

එය රු. 384,081,900 සිට රු. 580,153,100 දක්වා ඉහළ යෑමකි.

ගිණුම්කරණ නිලධාරියා විසින් සපයන ලද අදහස්වලට අනුව, ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ දේපළ හානි තක්සේරු කර වාර්තා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, අධිකරණ සහ පොලිසියෙන් කරන ලද ඉල්ලීම් මත පදනම්ව, තක්සේරු කිරීම් මුලින් 2022 මැයි 9 වැනිදා මූලික දිනය ලෙස වාර්තා කර තිබිණි.

තවද, කැබිනට් සංදේශ අංක PS/NC/ACD/98/2023 සහ 2023 පෙබරවාරි 24 දිනැති ජනාධිපති නියෝගයට අනුව, ප්‍රධාන තක්සේරුකරුට වත්මන් වෙළඳපල වටිනාකමට අනුකූලව නැවත තක්සේරුවක් සිදු කර මාසයක් ඇතුළත සංශෝධිත වාර්තා ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී තිබිණි.

ඒ අනුව, අදාළ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාවල සඳහන් කරුණු මෙන්ම 2024 පෙබරවාරි වන විට ගොඩනැගිලි ද්‍රව්‍යවල පිරිවැයේ උච්චාවචනයන් සළකා බැලීමෙන් මූලික තක්සේරු කිරීම් සංශෝධනය කර තිබිණි.

සංශෝධිත තක්සේරු කිරීම් මගින් අදාළ දේපළවල ස්වභාවය, ඉදිකිරීම් සඳහා භාවිත කරන ද්‍රව්‍ය සහ ස්ථාපිත සවි කිරීම් සහ උපකරණ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දරන ලද පිරිවැය අනුව වෙනස් වූ ප්‍රතිශත මෙම වැඩිවීම් වාර්තා කර ඇත.

තක්සේරුකරණයන්හි අසාමාන්‍ය වෙනස්කම් හඳුනා ගැනීමට පියවර ගත යුතු බවත්, එවැනි අක්‍රමිකතා නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු ආයතනික පියවර ස්ථාපිත කළ යුතු බවත් ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

ආදායම් හිඟ මුදල් සම්බන්ධයෙන් ද විගණනය මගින් දැඩි කණස්සල්ලක් මතු කර ඇත.

සමාලෝචනයට භාජනය වන වර්ෂය ආරම්භයේදී පැවති රු. 896,496,121ක හිඟ මුදල්වලින්, සමාලෝචනයට භාජනය වන වර්ෂය තුළ අයකරගෙන ඇත්තේ රු. 149,765,247ක් හෙවත් 16.7%ක් පමණි.

තවද, විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, සමාලෝචනයට භාජනය වන වර්ෂය අවසානයේ රු. 748,730,874ක මුළු හිඟ මුදලින් 90.47%ක් එනම් රු. 677,342,62 ක් ආයතන 10කට ආරෝපණය කර ඇත.

මෙයින් 66.48%ක් නාගරික සංවර්ධන අධිකාරිය (UDA), S.W.R.D. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යන ආයතන විසින් ගෙවිය යුතු ඒවායි.

මෙසේ තිබියදීත්, 2025 මැයි 31 දක්වා අදාළ ආයතන සමඟ විධිමත් ගිවිසුම්වලට එළඹීමෙන් හිඟ ආදායම් අයකර ගැනීම සඳහා සුදුසු සහ කාර්යක්ෂම යාන්ත්‍රණයක් හඳුන්වාදීමට සහ ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත.

විධිමත් ගිවිසුම් නොමැති වීම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වී ඇති බව ද නිරීක්ෂණය විය.

ඊට ප්‍රතිචාර වශයෙන්, මුදල් අමාත්‍යාංශය 2023 ජුනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත් යාන්ත්‍රණ සහ අඩු ගාස්තු ව්‍යුහයක් සහිත සංශෝධිත තක්සේරුකරණ ක්‍රියාපටිපාටියක් හඳුන්වා දී තිබිණි.

කෙසේවෙතත්, තක්සේරු ලිපිගොනු බොහොමයක් ඉතා පැරණි බැවින්, අවශ්‍ය ගෙවීම් සිදු කිරීමෙන් අදාළ ආයතන මෙම තක්සේරු වාර්තා ලබා ගැනීමට පියවර ගෙන නොමැත.

එහි ප්‍රතිඵලයක් ලෙස, මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව මෙම පැරණි ශේෂයන් කපා හැරීමට දැන් පියවර ගනිමින් සිටී.