February 3, 2026

දඹදිව දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි හෙට(04) සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

2025 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ දැක්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමක් ලෙස පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඔස්සේ ඉන්දියාවේ අපේක්ෂාව වී ඇත්තේ අධ්‍යාත්මික ව්‍යාප්තිය සහ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සබඳතා ශක්තිමත් කර ගැනීමයි.

මහාරාජා සයාජිරාඕ විශ්ව විද්‍යාලයේ දැනට තැන්පත් කර තිබෙන අති පූජනීය ධාතූන් වහන්සේලා හෙට සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන මහජන ප්‍රදර්ශනයක් සඳහා කොළඹට වැඩම කරවන අතර පෙබරවාරි 11 වන දින නැවත ඉන්දියාවට වැඩමවීමට නියමිතය.

මෙම පූජනීය ගමන බුද්ධාගමේ උපන් ස්ථානය ලෙස ඉන්දියාවේ කල් පවතින ශිෂ්ටාචාර වගකීම අවධාරණය කරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු අධ්‍යාත්මික, සංස්කෘතික සහ ජනතාව අතර බැඳීම් නැවත තහවුරු කරයි.

මෙම පූජනීය ධාතූන් වහන්සේලා සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ නිලධාරීන් පිරිසක් සමඟ ගුජරාට් ආණ්ඩුකාර ශ්‍රී ආචාර්යා දෙව්ව්‍රත් සහ ගුජරාට් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ශ්‍රී හර්ෂ් සංඝවිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ඉන්දියානු දූත පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.

ඔවුන් ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවීමට නියමිතව තිබේ .

ඉන්දියාවේ බෞද්ධ උරුමය සහ එහි සමකාලීන සංස්කෘතික කටයුතු ඉස්මතු කරන ප්‍රදර්ශනය සහ ඒ ආශ්‍රිත ප්‍රදර්ශන විධිමත් ලෙස ආරම්භ කිරීම ඇතුළුව, කොළඹදී පැවැත්වෙන චාරිත්‍රානුකූල, ආගමික සහ නිල කටයුතු සඳහා නියෝජිත පිරිස සහභාගී වනු ඇත.