October 2, 2025

බුදු සසුන විකෘති කරන මත­වාදී හා ක්‍රියා­කා­ර­ම්ව­ලින් සම­න්විත පුද්ගල හා කණ්ඩා­යම් ලෙස සිදු­වන බාධා මඟ­හ­රවා ගැනීම සඳහා බුද්ධ ශාසන සභාව පිහි­ටු­වී­මට බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන තිබේ.

ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්නය පෙරටු කර­ග­නි­මින් ‘බුද්ධ­ශා­සන සභාව පිහි­ටු­වීම’ බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (01) සිදුකෙරිණි.

ජන­තා­වගේ අපේ­ක්ෂා­වන්ට සම­ගා­මීව බෞද්ධ ආග­මික සමා­ජ­යත් රාජ්‍ය පාල­න­යත් සම­පාත වන වැඩ­පි­ළි­වෙ­ළක් ඔස්සේ ක්‍රියා­ත්මක කිරීම මෙහි අර­මු­ණයි.

ශ්‍රී ලංකාවේ බුදු සසු­නෙහි සමස්ත වග­කීම් දරන සියම්, අම­ර­පුර සහ රාමඤ්ඤ යන නිකා­ය­ත්‍ර­යට අයත් පාර්ශ්ව 31ක මහා ලේඛ­කා­ධි­කාරී ස්වාමී­න්ව­හ­න්සේලා සහ බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍ය­ව­රයා විසින් පත්ක­රන ස්වාමි­න්ව­හ­න්සේලා සිවු නමක් සහ ගිහි නියෝ­ජි­ත­යකු ද මේ සඳහා ඇතු­ළත් වේ.

විෂය භාර අමා­ත්‍ය­ව­ර­යාගේ සහ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ කැඳ­වු­ම්කා­ර­ක­ත්ව­යෙන් යුක්ත මෙම සභා­වෙහි අනෙක් ගිහි සාමා­ජික පිරිස වන්නේ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා, අමා­ත්‍ය­ව­ර­යාගේ සහ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ පෞද්ග­ලික ලේක­ම්වරු දෙපළ, අමා­ත්‍ය­ව­ර­යාගේ සහ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ සම්බ­න්ධී­ක­රණ ලේක­ම්වරු දෙපළයි.

මේ යටතේ සමාජ ආර­ක්ෂණ සහ සුපෝ­ෂණ කමි­ටුව, භික්ෂු අධ්‍යා­පන හා ධර්ම පර්යේ­ෂණ කමි­ටුව සහ අන්තර් ආග­මික හා ජාතික සංහි­ඳියා කමි­ටුව ලෙස කමිටු 03ක් ක්‍රියා­ත්මක කෙරෙයි.

අද රැස්වූ බුද්ධ­ශා­සන සභා­වෙහි පළමු සභා­වා­රයේ මූලා­ස­නය මහා විහා­ර­වං­ශික ශ්‍යමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන ලේඛ­කා­ධි­කාරී, ආචාර්ය පූජ්‍ය පහ­මුණේ සුමං­ගල නායක ස්වාමී­න්ද්‍ර­ය­න්ව­හන්සේ විසින් දරන ලදි. බුද්ධ­ශා­සන සභාවේ ලේකම් ධුරය සඳහා මහා විහා­ර­වං­ශික ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේඛ­කා­ධි­කාරී පූජ්‍ය අත්තං­ගනේ සාස­න­ර­තන මහ නා හිමි­පා­ණ­න්ව­හන්සේ පත්කර ගන්නා ලදි.

මෙම අව­ස්ථා­වට නිකා­ය­ත්‍ර­යට අයත් පාර්ශ්ව 31ක මහා ලේඛ­කා­ධි­කාරී ස්වාමී­න්ව­හ­න්සේලා වැඩම කර සිටි අතර, බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රින්ස් සේනා­ධීර, බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රාල් ආර්.එම්.ජී. සේනා­රත්න ඇතුළු නිධා­රීහු ද එක්ව සිටි­යහ.