February 2, 2026

ලංකා සීනි සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳසැල සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය වාර්තා එම සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.

එම ප්‍රකාශ අසත්‍ය සහ නොමඟ යවන සුළු බව සමාගම කියාසිටී.

නිල නිවේදනයක් නිකුත් කරමින් සමාගම පැවසුවේ, ජනවාරි 31 වන සෙනසුරාදා අලෙවි සේවකයකුගේ අසනීප තත්ත්වය හේතුවෙන් පමණක් වෙළඳසැල තාවකාලිකව වසා දැමූ බවයි.

සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුකූලව, පෝය දිනය වෙනුවෙන් පෙබරවාරි 1 වන ඉරිදා අලෙවිසැල වසා තිබී ඇත.

මෙම සාමාන්‍ය වසා දැමීම් පිළිබඳ නොමඟ යවන අර්ථකථන සමාජ මාධ්‍යවල සංසරණය වූ බවත්, එමඟින් මහජනතාව අතර අනවශ්‍ය ව්‍යාකූලත්වයක් ඇති වූ බවත් සමාගම අවධාරණය කළේය.

නුගේගොඩ අලෙවිසැල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක බවත් විවෘත වේලාවන් පහත පරිදි බවත් සමාගම කියයි.

සතියේ දිනවල සහ සෙනසුරාදා දිනවල: පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා.

ඉරිදා දිනවල: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ සහ මහා භාණ්ඩාගාරයට සම්පූර්ණයෙන්ම අයත් ආයතනයක් ලෙස, ලංකා සීනි සමාගම පාරිභෝගිකයන්ට අඛණ්ඩ සේවාවක් සැපයීම සඳහා සිය කැපවීම නැවත තහවුරු කළේය.

නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙසත්, අන්තර්ජාලය හරහා බෙදාගන්නා සත්‍යාපනය නොකළ තොරතුරු නොසළකා හරින ලෙසත් සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.