April 28, 2026

එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සනිටුහන් කරමින් දින හතරක රාජ්‍ය සංචාරයක් සඳහා III වැනි චාල්ස් රජු සහ කැමිලා රැජින සඳුදා එක්සත් ජනපදයට පැමිණියහ.

බ්‍රිතාන්‍ය රාජකීයයන් දෙපළ ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් තේ පැන් සංග්‍රහයකදී හමු වී තිබිණි.

පසුව රජ යුවළ වොෂින්ටන් හි බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ නිවසේ උද්‍යාන සාදයකට ද සහභාගී වූහ.

ඉරානයේ පවතින යුද්ධය හේතුවෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර සබඳතා පීඩාවට පත් වී ඇති පසුබිමක මෙම සංචාරය සිදුවේ.

දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව සිටීමට රජුගේ අවශ්‍යතාව නොතකා, ආතතීන් සමනය කිරීමට රජුගේ මෙම සංචාරය උපකාරී වනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය බලාපොරොත්තු වේ.

ඉරාන යුද්ධය සඳහා සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විවේචනය කර තිබිණි.

සෙනසුරාදා වොෂින්ටනයේ පැවති මාධ්‍යවේදීන් සහභාගී වූ උත්සවයක වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වීමෙන් පසු සිදුවන මෙම සංචාරය හේතුවෙන් අගනුවර පුරා ආරක්ෂාව තවත් තර කර ඇත.

බදාදා කොංග්‍රසය අමතමින් පැවැත්වීමට නියමිත ඒකාබද්ධ දේශනය අතරතුර චාල්ස් රජු සිද්ධිය පිළිබඳ කෙටි සඳහනක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.