August 17, 2026

තණමල්විල නිකවැව දෙමෝදර වැව ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගංජා වගාවකට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 500,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් සැරයන්වරයකු, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පොලිස් සැරයන්වරයකු, බිබිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරුවරයකු සහ බිබිල ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලිසිය සඳහන් කළේ අදාළ ප්‍රදේශයේ ගංජා හේනක් පවතින බවට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබූ බවයි. ඒ අනුව අගෝස්තු 11 වැනිදා අදාළ ස්ථානය වටලන ලද පොලිස් කණ්ඩායමක් විසින් ගංජා වගාවක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී තවත් ගංජා වගාවන් තුනක් සොයාගෙන ඇති අතර, තවත් කොටසක් කපා විනාශ කර තිබී ඇත.

ප්‍රශ්න කිරීම් අතරතුර සැකකරු හෙළිකර ඇත්තේ අගෝස්තු 10 වනදා මොනරාගල අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හයදෙනෙකු පැමිණ තමාගෙන් රුපියල් 500,000ක මුදලක් ලබාගෙන, එක් ගංජා කොටසක් පමණක් ගිනි තබා ඉතිරි ගංජා තොගය රැගෙන ගිය බවයි.

පසුව සිදුකළ විමර්ශනවලදී ගංජා සමඟ නිකවැව පදිංචි ‘කළු’ නැමැති තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පොලිස් නිලධාරීන් කණ්ඩායම අදාළ ගංජා තොගය වියළා දෙන ලෙස තමාට උපදෙස් දුන් බව ඔහු පොලීසියට පවසා ඇත.

සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගන්නා ලදී. එම ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත තණමල්විල පොලීසිය විසින් අදාළ පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.