July 10, 2026

සංචාරක පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් බ්‍රසීල ජාතිකයෙකු නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන, රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උණවටුන සංචාරක පොලිසිය සමත්ව තිබේ.

ගාල්ල, තල්පේ ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි මෙම බ්‍රසීල ජාතිකයාගේ කාමරයට මුලින්ම පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇත. තමන් සංචාරක පොලිස් නිලධාරීන් බව හඟවමින් කාමරය පරීක්ෂා කර ඇති ඔවුන්, විදේශිකයා සතු බ්‍රසීලියානු ගමන් බලපත්‍රය, ඇමරිකානු ලේඛන සහ ජංගම දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි තෙවැනි පුද්ගලයා ද ව්‍යාජ පොලිස් නිලධාරීන් සමඟ එකතු වී විදේශිකයාට මාංචු දමා බියගැන්වීමට කටයුතු කර ඇත. එහිදී ඔවුන් විදේශිකයාට පවසා ඇත්තේ, ඔහුව අත්අඩංගුවට පත්වීමෙන් බේරාගැනීම සඳහා කොළඹ පොලිස් ප්‍රධානියකුට රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාදිය යුතු බවයි.

එම මුදලෙන් ලක්ෂ දෙකක ප්‍රමාණයක් යතුරුපැදියක් උකස් කර ලබා දුන් බවත්, එම මුදල සමඟ ඉතිරි ලක්ෂ 28 වහාම ලබා දෙන ලෙසත් පවසමින් මෙම පිරිස විදේශිකයාට තර්ජනය කර තිබේ.

කෙසේවෙතත්, මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ක්ෂණික මෙහෙයුමක් දියත් කර සැකකරුවන් තිදෙනා කොටුකර ගැනීමට සමත්ව ඇත.

පොලීසියට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන්නන් වේ. මෙම අපරාධය සඳහා ඔවුන් යොදාගත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, උණවටුන සංචාරක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.