
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසරක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම පුද්ගලයාගේ සිරුර ගම්පහ, වතුරුගම, ඉඳුරුගල්ල ප්‍රදේශයේ ගෙවත්තක වැසිකිළි වළකින් පෙරේදා (08) ගොඩගනු ලැබීය.
මත්පැන් සාදයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඔහු සමඟ එකට මත්පැන් පානය කළ පුද්ගලයන් ඔහුට පහරදී මරා වැසිකිළි වළට දමා ඇතැයි පොලීසිය පවසයි. මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් 03 දෙනෙක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සිරුර වැසිකිළි වළට දමා ඇති බව හෙළි කර ඇත්තේ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.
මෙසේ ඝාතනය වී ඇත්තේ ඉඳුරුගල්ල, අංක 115/1ලිපිනයේ පදිංචි පැණිහෙළ පදිංචිව සිටි පතිරන්නැහැලාගේ සුනිල් නමැති 61 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ සිරුරේ අස්ථි කොටස් ගැලවී දියවී යෑමේ තත්ත්වයකට පත්ව තිබුණි.
සිරුර ගොඩගනු ලැබුවේ පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අනුර සුමනසේන මහතාගේ අධීක්ෂණයෙන් වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.
වැසිකිළි වළේ කොන්ක්‍රීට් ලෑලි දමා තිබී ඇත. එහි පැත්තකින් සිදුරක් හාරා මියගිය තැනැත්තාගේ සිරුර එම සිදුරෙන් වැසිකිළි වළට දමා. ඉන්පසු තහඩු හා සිමෙන්ති ගල් දමා වසා දමා තිබෙනු දක්නට තිබිණ. මෙහි කොන්ක්‍රීට් ලෑලි ඉවත් කර එහි තිබූ ජලය දොම්පේ ප්‍රාදේශීය සභාවේ ගලි බවුසරයක් මඟින් ඉවත් කර සිරුරේ කොටස් සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවතට ගනු ලැබිණ.
2024 වසරේ නොවැම්බර් 18 වැනි දින සිට ඔහු ආගිය අතක් නැති බවට පවුලේ ඥාතීන් කිරිඳිවැල පොලීසියට පැමිණිලි කර තිබී ඇත. ඒ වන විට යකඩ සොරකමක් සම්බන්ධයෙන් පොලීසිය ඔහු සොයමින් සිටි බැවින් ඔහුගේ ඝාතකයන් ගම පුරා ප්‍රචාරය කර තිබී ඇත්තේ පොලීසියෙන් බේරීමට ඔහු සැඟව සිටින බවය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවූ තොරතුරු මත මළසිරුර සඟවා ඇති ස්ථානය ගැන තොරතුරු හෙළිවී ඇත. මෙලෙස ඝාතනය කර තිබූ සුනිල් නමැත්තා කලක් කොළඹ වරායේ සේවය කර ඉන් ඉවත් වී ඇත. ඔහු තම මව සමඟ ඉඳුරුගල්ල මහගෙදර පදිංචිව සිට ඇති බව ද පොලීසිය පවසයි. කොරෝනා සමයේදී මව මියයෑම නිසා පසුව තනියම නිෙවසේ සිටි ඔහු වතුරුගම ප්‍රදේශයේ ගල් වැඩපොළක සේවයට ගොස් තිබේ. ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා කලක සිට ගාල්ලේ බිරියගේ මහගෙදර පදිංචිව සිටින බව සඳහන්ය.
මියගිය සුනිල් කාලයක සිට අසල්වැසියන් ලෙස ප්‍රධාන සැකකරු හා ඔහුගේ සහෝදරයා ද තවත් මිතුරන් ද ඇසුරු කරමින් මත්පැන් පානය කිරීමට පුරුදු වී සිට ඇත. තම ත්‍රීරෝද රථය පවා උගස් කර රුපියල් ලක්ෂ දෙකක මුදලක් ප්‍රධාන සැකකරුට ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
2024 වසරේ නොවැම්බර් 18 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මේ ඝාතනය සිදුව තිබේ. සිද්ධිය වූ දින ප්‍රධාන සැකකරුගේ නිෙවසේ මත්පැන් පානය කරමින් සිටින අතරතුරදී මෙලෙස පහරදී ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනතුරුව සැකකරුවන් නිවාසවල නොසිට, පිට ප්‍රදේශවල පදිංචිව සිට විටින් විට වතුරුගමට පැමිණ ගොස් තිබේ. මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රධාන සැකකරු පසුගිය දිනක ගම්පහට පැමිණ සිටියදී මියගිය අයගේ ඥාති පුතකුට පවසා ඇත්තේ සුනිල් මේ වන විට පොළොවේ අඩි පහක් හයක් යටින් සිටින්න හැකි බවය. මේ ගැන ගමේ පිරිස් අතර කතාබහක් ඇතිවන විට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. ජයකොඩි මහතාට ඒ බව සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් දැනගන්නට ලැබී ඇත.
වසරක පමණ කාලයක් අබිරහසක්ව පැවති සුනිල්ගේ අතුරුදන්වීමේ සිද්ධිය අනාවරණය වන්නේ ඒ අනුවය. පොලිස් නිලධාරීන් මෙහිදී ගමට ගොස් යකඩ සොරකමට සුනිල් සොයන ආකාරයට තොරතුරු විමසා බලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද අසල්වාසියකු සිටින බව පොලීසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් අයකු මේ වන විට විදේශගතව ඇති බව ද වාර්තා වේ.
ගම්පහ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හංසදේව සමරදේවාකර මහතා විසින් ඔවුන් දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලදී.
සිරුර ගොඩගැනීමේ අවස්ථාවට පැමිණ සිටි මියගිය අයගේ බිරිය වන තමරා මහත්මිය මෙසේ පැවසුවාය.
“සිද්ධිය වන විට මම දරුවන් දෙදෙනා සමඟ ගාල්ලේ මගේ මහගෙදර පදිංචිව සිටියා. මහත්තයා ඉඳුරුගල් මහගෙදර අම්මත් එක්ක හිටියා. අම්මා කොරෝනා දිනවලදී මියගියා. පසුව මහත්තයා තනියම තමයි ඒ නිෙවසේ හිටියේ. වරායේ වැඩ කර අයින් වෙලා හිටියේ. ඔහුට ත්‍රිරෝද රථයක් ද තිබුණා. පසුව වතුරුගම ප්‍රදේශයේ ගල් වැඩපොළකට ද ගිය බව ආරංචි වුණා. සිද්ධිය වූ නොවැම්බර් 18 වැනිදා රාත්‍රියේ වැඩට ගිහින් අක්කලාගේ ගෙදරින් කෑම එක අරගෙන ආවා කියා මම දුරකතන ඇමතුමක් ගත් විට මහත්තයා කීවා. මෙහෙ හොඳටම වහිනවා උදේ පහමාරට වැඩට යන්න තියෙනවා කියලත් කිව්වා. 19 වැනිදා පාන්දර ඇමතුමක් ගත්තත් මහත්තයා කතා කළේ නැහැ. පසුව මම අසල්වැසියකුට කතා කර ඇහුවා මහත්තයා ඉන්නව ද කියලා. එතකොට ඒ අය කිව්වා නිෙවසට ඉබ්බා දාලා තිබෙනවා කියලා. පස්සේ රදාවානේ ගෙදරටත් කතා කර කිව්වා සුනිල් කතා කළේ නැහැ. කියලා. පසුව දැනගත්තා වැඩට ආවේ නැහැ කියලා. විසිවැනිදා උපාලි අයියා වැඩපොළට ගියා බලන්න ඒත් මහත්තයා වැඩට ගිහින් තිබුණේ නෑ. වැඩපොළේ යකඩ වගයක් නැතිවෙලා ඒකට බයේ හැංගිලා ඇති කියලා අපි හිතුවා. දින කිහිපයක්ම මහත්තයා ගැන තොරතුරක් ලැබුණේ නැහැ. පසුව කිරිඳිවැල පොලීසියට ගිහින් පැමිණිල්ලක් කර තිබුණා, සුනිල්ගේ අක්කගෙ දුවගේ මහත්තයා.
දිනක් සිද්ධියේ ප්‍රධාන සැකකරු ශිරාන් අසා තිබුණා ඥාති පුත්‍රයකු එක්ක සුනිල් ගැන තොරතුරක් නැද්ද කියලා. එතකොට ඔහු කියලා තියෙනවා සුනිල් මේ වෙනවිට අඩි පහක් හයක් පස් යට තමයි ඉන්නේ කියලා යැයි ද ඇය හැඬූ කඳුළින් කීවාය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart